මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ (විශ්‍රාමික) මහතා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නව අධ්යක්ෂ ජනරාල් වශයෙන් අද දින (8) වැඩ භාර ගැනීම සිදු කරන ලදී.
ආගමික වතාවත් අනුව අධ්යක්ෂ ජනරාල් තනතුරෙහි වැඩ භාරගැනීමෙන් පසු මෙම අවස්ථාවට සහභාගී වු නිළධාරීන් අමතමින් ආපදා හේතුවෙන් මහජනතාවට සිදුවන පීඩාවන් අවම කිරීම වෙනුවෙන් ආපදා අවම කිරීම, පෙර සූදානම් කටයුතු සිදුකිරීම, මහජන දැනුවත් කිරීම්, අවදානමට ලක්ව ඇති ජනතාව වෙත පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කිරීම, හදිසි අවස්ථා මෙහෙයුම් කටයුතු සහ අනිකුත් ප්‍රධාන ආයතන හා එක්ව සහන සහ පශ්චාත් ව්‍යසන කටයුතු සම්බන්ධීකරණය කිරීම තම වගකීම බව පෙන්වා දෙන ලදී.
තවද, මෙම වගකීම් ඉටු කිරීම සඳහා මෙම තනතුරට තමා තෝරාගැනීම වෙනුවෙන් ජනාධිපතිවරයාටත්, නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයාටත් ආරක්ෂක ලේකම්වරයාටත් සිය ස්තුතිය පිරිනමන ලදී.
ආයතනයේ සේවය කරනු ලබන සියලුම නිළධාරීන්ගේ දැනුම, අත්දැකීම් සහ දශක තුනක රාජකාරී කාලය තුළ විවිධ භූමිකා දරමින් තමා ලබාගත් දැනුම සහ අත්දැකීම් ද නව තනතුරේ වගකීම් ඉටු කිරීමට උපයෝගී කරගැනීමට තමා බලාපොරොත්තු වන බවත්, කණ්ඩායමක් වශයෙන් එකමුතුව සුහදත්වයෙන් යුතුව කටයුතු කිරීමේ වැදගත්කම සහ අපගේ ප්‍රජාවන් ආරක්ෂා කිරීම සඳහා වෙහෙස නොබලා, බොහෝවිට තිරය පිටුපස සිටින සැමගේ කැපවීම, විශේෂඥභාවය සහ එහි නිලධාරීන්ගේ වෘත්තීයභාවය අනිවාර්යය සාධකයක් වන බව තරයේ විශ්වාස කරන බවත්, එම හැකියාවන් තවදුරටත් වර්ධනය කරගත යුතු බව අවධාරණය කරන ලදී.
දශක තුනකට අධික කාලයක් ශ්‍රී ලංකා හමුදාවේ කීර්තිමත් නිළධාරියෙකු වන මේජර් ජෙනරාල් කොටුවේගොඩ එන්ඩීසී අයිජී මහතා උපාය මාර්ගික නායකත්වය, අර්බුද කළමනාකරණය සහ ජාතික ආරක්ෂක විශේෂඥතාව යන ක්ෂේත්‍ර යටතේ සුවිශේෂ දැනුම් සම්බාරයක් හිමි නිළධාරියෙකු වන අතර, 1986 දී කැඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුධ හමුදාවේ සේවයට බැඳී පුහුණුවෙන් පසු ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවට සම්බන්ධ වූ මේජර් ජෙනරාල් කොටුවේගොඩ එන්ඩීසී අයිජී මහතා වසර 36කට ආසන්න කාලයක් ශ්‍රී ලංකා යුධ හමුදාවෙහි වෘත්තීය ජීවිතය තුළ බලසේනාධිපති, අණදෙන නිලධාරි, සේනාංකාධිපති, ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක, ආරක්ෂක සේනා ආඥාපති, ශ්‍රී ලංකා හමුදාවේ ස්වේච්ඡා හමුදාවේ සේනාවිධායක සහ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස සේවය කර ඇත.
කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය සහ ජාතික ආරක්ෂක පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය හිමිකරගෙන ඇති මේජර් ජෙනරාල් කොටුවේගොඩ එන්ඩීසී අයිජී මහතා ඇමරිකා එක්සත් ජනපදය, ඉන්දියාව, පකිස්ථානය, ජපානය, බංග්ලාදේශය, පිලිපීනය සහ චීනය ඇතුළු රටවල් කිහිපයක යුධ හමුදා සහ ආපදා ප්‍රතිචාර පිළිබඳව විදේශ පුහුණු ලබා ඇත.
