පාර්ලිමේන්තුව තුළ වත්මන් පොදුජන පෙරමුණු ආණ්ඩුවේ සරළ බහුතරය අහිමි වීම සඳහා තවත් ඇත්තේ මන්ත්‍රී ආසන 3 ක වෙනසක් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වත්මන් ආණ්ඩුව සම්බන්ධයෙන් සිදු කරන විවේචන මෙන්ම පසුගියදා අමාත්‍ය ධුරයන්ගෙන් ඉවත් කරන ලද විමල් - ගම්මන්පිල ප්රමුඛ පක්ෂ 11 සන්ධානය බැසිල් රාජපක්ෂ ඇතුළු රාජපක්ෂවරුන් සම්බන්ධයෙන් දැන් සිදු කරන ප්‍රකාශ සැබෑ අවංක විවේචනයන් නම්, සමගි ජන බලවේගය තුළ සිටින පැහැදිලිව වත්මන් ආණ්ඩුව එරෙහිවීම සඳහා අවංකව කටයුතු කරන අය යන මේ සියල්ලන් අවංකව කටයුතු කරන්නේ නම් ආණ්ඩුවේ සරළ බහුතරය අහිමි වීම පැහැදිලිව නුදුරේදීම සිදු විය හැක්කක් බව රණවක මහතාගේ පෙන්වා දෙයි.
රාජපක්ෂවරු ඉවත්කරන ක්‍රමය ගැන කතා කරන සර්වපාක්ෂික සමුළුවක් තිබේ නම් තමන් ඉතා කැමැත්තෙන් ඊට සහභාගී වන බවද ඔහු පැවැසීය.
"රටට දැන් අවශ්‍යයි පුළුල් සන්ධානයක්. පොදු එකඟතාවයක්. මේ අර්බුධයෙන් ගැලවෙන්න මේ තනි මතවලට, තනි ගමන් වලට වඩා සාමූහික ප්රයත්නයක් රටට දැන් අවශ්‍යයි. එකිනෙකට වෙනස් මත තියෙන අය එකතු කරගන්න එක ඉතාම දුෂ්කර දෙයක්.
නමුත් මේ මොහොතේ රටට අවශ්‍ය කාරණය ඒක තමයි. ඒ සඳහා අපි එක්සත් ජාතික පක්ෂය එක්ක විතරක් නෙවෙයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රාජපක්ෂවරු නොවන වෙනස් අදහස් දරන ප්රගතිශීලී සියලු දෙනා එක්කම කටයුතු කරන්න සූදානම්."