අවුරුදු තුනක් වයසැති සිගිති දරුවෙකු ඊයේ (7)දින රාත්රි 8ට පමණ නිවසේ ජල ටැංකියට ඇද වැටී දියේ ගිලී මියගොස් ඇතැයි මිද්දෙනිය පොලිසිය පැවසීය. මෙලෙස මියගොස් ඇත්තේ අංක 44/ සී 5 , වික්රම මාවත , නැගෙනහිර මිද්දෙනිය ලිපිනයේ පදිංචිව සිටි සමරකෝන් මුදියන්සේ ලාගේ අයෝන් කොවිජ නමැති දරු සිගිත්තාය.
දරුවාගේ මව සිය නව හැවිරිදි දරුවා සහ මියගිය තුන් හැවිරිදි දරුවා රාත්රි ආහාරය ගැනීමෙන් පසු ඔවුන්ගේ ඇග සෝදා නින්දට යැවීමට නිවස පිටත තනා ඇති ජල ටැංකිය වෙත කැදවා ගෙන ගොස් තිබේ. නව හැවිරිදි දරුවාගේ ඇග සේදූ මව කුඩා දරුවා ජල ටැංකිය අසල සිටියදී වැඩිමහල් දරුවා සමග නිවස තුලට ගොස් තිබේ .
නැවත පැමිණ සොයා බැලීමේදී කුඩා දරුවා ජල ටැංකිය තුලට වැටී සිටිනු දැක ඔහු ගොඩට ගෙන මිද්දෙනිය රෝහලට ඇතුළත් කර තිබේ. මිද්දෙනිය රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී කුඩා දරුවා ජීවිතක්ෂයට පත්වූ බව රෝහල් ආරංචි මාර්ග පැවසීය .
අසල තිබූ බේසමක් මත නැගී දරුවා ජල ටැංකියට එබෙන්නට තැත් කිරීමේදී ඔහු එතුලට ඇද වැටෙන්නට ඇතැයි සැකකරන බව පොලිසිය පැවසීය .
පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සදහා කුඩා දරුවාගේ දේහය ඇඹිලිපිටිය මූලික රෝහලට රැගෙන ගිය බව පොලිසිය පැවසීය. මිද්දෙනිය පොලිසිය සිද්ධිය ගැන වැඩිදුර පරීක්ෂණ පවත්වයි .
මුල්කිරිගල - හඳුගල ගුණරත්න