වැල්ලවාය පොලිස් වසමට අයත් ආනපල්ලම 03 කණුව ප්‍රදේශයේ නිවසකට අද (14දා) අලුයම ගම්වැදුණු අලිරංචුවකින් එක් අලියෙකු නිවසකට පහරදීමෙන් නිවසට දැඩි ලෙස අලාභහානි සිදුවී ඇති අතර නිවස තුළ සිටි කුඩා දරුවන් දෙදෙනෙකුට සහ තවත් අයෙකුට තුවාල සිදුවී ඇතැයි වැල්ලවාය පොලීසිය පවසයි.
ඒ අසල තවත් නිවසක තිබූ ත්‍රීරෝද රථයකටද අලියා පහරදීමෙන් අඩි දහයක් පමණ දුරකට විසිවී ගොස් ඊට බරපතළ හානි සිදුවී ඇත.
මේ පිළිබඳව වැල්ලවාය වනජීවී කාර්යාලයේ වනජීවී අඩවි ආරක්ෂක නිශාන්ත ප්‍රේමලාල් මහතාගෙන් කළ විමසුමකදී පැවසුවේ ආනපල්ලම ප්‍රදේශයේ ගම්මාන වලට වනඅලි පැමිණීම වැලැක්වීම සඳහා දිගටම කාණුවක් කපා ඇතත් එක් ස්ථානයකින් කැළයේ ඇතුලත ඇති කුණු වලකට කසල ගෙනයාම සඳහා ට්‍රැක්ටර් ඇතුල්කිරීමට ගේට්ටුවක් දමා තිබෙනවා.දෙපස තිබෙන විදුලි රැහැන ගේට්ටුව ඇති කොටසද සම්බන්ධකර තිබෙනවා.ට්‍රැක්ටර් රථ ඇතුළු වීමේදී එය ගලවා ආපසු යනවිට සවිකර යුතුයි.නමුත් ඇතැම් වාහන හිමියන් විදුලි වැට සම්බන්ධ නොකර ආපසු යනවා. වනඅලින් එතැනින් ගම්වදිනවා.
සිද්ධියවූ ස්ථානයට ගොස් අලාභහානි සිදුවූ දේපළ පිළිබඳව තක්සේරුකොට වන්දියක් ගෙවීමට ඇති හැකියාව පිළිබඳව සොයාබලනවා.
මෙම සිද්ධියෙන් පසු ප්‍රදේශවාසීන් නොසන්සුන්වී වැල්ලවාය මොනරාගල මාර්ගය 03 කණුව ප්‍රදේශයෙන් අවහිරකර විරෝධතාවයක නිරතවූ අතර පොලීසිය මැදිහත්වීමෙන් පසු විරෝධතාකරුවන්ට වැල්ලවායට පැමිණ සිටින ඌව පළාත් ආණ්ඩුකාරවරයා සමඟ සාකච්ඡාවක් ලබාදීමට එකඟවීමෙන් පසු වැල්ලවාය මොනරාගල මාර්ගයේ වාහන වලට ගමන්කිරීමට අවස්ථාව ලබාදෙන ලදි.
මොනරාගල සුමනසිරි ගුණතිලක