තමන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් ආරම්භ කර ඇති විමර්ශනය අත් හිටුවීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය සුජීව සේනසිංහ මහතා ගොනුකර ඇති පෙත්සම නීතිමය පදනමකින් තොරව ඉදිරිපත් කර ඇති බැවින් එම පෙත්සම විභාගයට නොගෙනම ඉවත් දමන්නැයි අල්ලස් කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඊයේ (05දා) ඉල්ලා සිටියේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස්. තුරේරාජා, කුමුදුනි වික්‍රමසිංහ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්මා මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම කැඳවනු ලැබීය.
හිටපු අමාත්‍ය සුජීව සේනසිංහ මහතා විසින් ගොනුකොට ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරු වශයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම නම් කර ඇත.
පෙත්සම අධිකරණය හමුවේ සලකා බැලූ අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ශ්රවින්ද වික්‍රම මහතා කරුණු දක්වමින් වැරදි සහ පදනම් විරහිත කරුණු පදනම් කරගෙන මෙම පෙත්සම ඉදිරිපත් කර ඇතැයි කීය.
මෙම නඩුවට හා සම්බන්ධිත තවත් නඩුවක් අභියාචනාධිකරණය ඉකුත්දා නිෂ්ප්‍රභ කළ බව පෙන්වාදුන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ශ්රවින්ද වික්‍රම මහතා පෙත්සම සම්බන්ධයෙන් කඩිනමින් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටියේය.
මේ අවස්ථාවේදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු එස්. තුරෙයි රාජා මහතා සඳහන් කළේ දෙපාර්ශ්වය ඉදිරිපත් කරන කරුණු සලකා බැලීමෙන් පසුව අධිකරණය විසින් සුදුසු නියෝගයක් ලබා දෙන බවයි.
ඒ අනුව මෙම පෙත්සම නොවැම්බර් මස 20 සලකා බැලීමට දින නියම කෙරිණ.
හිටපු අමාත්‍ය සුජීව සේනසිංහ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ද,නීතිපති වෙනුවෙන් ජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ශ්රවින්ද වික්‍රම මහතා පෙනී සිටියහ.