‘අල්ටෙයාර්’ තට්ටු නිවාස සංකීර්ණයේ 67 වැනි මහලෙන් වැටුණු සිසුවාගේ සහ සිසුවියගේ මරණ සැකසහිත බව මියගිය සිසුවාගේ පියා නීතිඥ අසංක දයාරත්න මහතා මාර්ගයෙන් කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතාට අද (08) දැනුම් දුන්නේය.
ප්‍රශ්චාත් මරණ පරික්ෂණයක් පැවැත්වෙන අවස්ථාවේදී පෞද්ගලික පැමිණිල්ලක් කිරීමට ඉඩදීම ප්රතික්ෂෙප කළ මහේස්ත්‍රාත්වරයා මේ සම්බන්ධයෙන් කොම්පඤ්ඤවීදිය පොලිසියට පැමිණිල්ලක් කරන ලෙස මියගිය සිසුවාගේ පියා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයාට දැනුම් දුන්නේය.
‘අල්ටෙයාර්’ තට්ටු නිවාස සංකීර්ණයේ 67 වැනි මහලෙන් වැටුණු සිසුවාගේ පියා වෙනවෙන් පෙනී සිටි නීතිඥ අසංක දයාරත්න මහතා කරුණු දක්වමින් තම සේවාදායකයාගේ පුතා මෙම සිද්ධියෙන් මියගොස් ඇතැයිද පුතාගේ මියයෑම සම්බන්ධයෙන් තම සේවාදායකයාට සැකයක් මතුව ඇතැයිද කීය.
එහෙයින් මෙම සිද්ධිය සම්බන්ධයෙන පෞද්ගලිකව පැමිණිල්ලක් කිරීමට තම සේවාදායකයාට අවස්ථාව සළසා දෙන්නැයි නීතිඥ අසංක දයාරත්න මහතා ඉල්ලා සිටියේය.
ඒ අවස්ථාවේදී අධිකරණය ඇමතූ මහෙස්ත්‍රාත්වරයා මෙම මරණ සම්බන්ධයෙන් මේ වන විට ප්‍රශ්චාත් මරණ පරික්ෂණයක් පැවැත්වෙන හෙයින් පෞද්ගලික පැමිණිල්ලක් කිරීමට ඉඩදීය නොහැකි බවත් අවශ්‍ය නම් ඒ පිළිබදව කොම්පඤ්ඤවීදිය පොලිසියට පැමිණිල්ලක් කරන ලෙසත් නියම කළේය.
සිද්ධිය පිළිබඳ මේ වන විටත් කොම්පඤ්ඤවීදිය පොලිසිය විමර්ශන කරන බවත් එම විමර්ශන වල ප්‍රගතිය අධිකරණයට වාර්තා කර ඇති බවත් පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා නඩුවේ ගොනු අංකය ලබාගෙන පොලසියට පැමිණිලි කිරීමට දැනුම් දුන්නේය.