ඔස්ට්‍රේලියාවේ පදිංචියට යාම සඳහා වීසා ඇතුළු අවශ්‍ය කටයුතු සිදුකර දෙන බවට පොරොන්දුවී ලක්ෂ තිහක මුදලක් වංචා කළ බවට පෝරුතොට පදිංචි සහාබ්දින් පාතුම්මා සබ්රාන් නමැතියක විසින් සිදුකරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීමට නියමිතව සිටි රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා අද ( 09) දින මිගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට පැමිණ ප්‍රකාශයක් ලබාදුන් බව පොලීසිය පවසයි.
මෙම සිද්ධිය සමබන්ධයෙන් මෙතෙක් සිදුකර ඇති විමර්ශනවලින් හෙළිදරව්වූ තොරතුරු මත අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පැමිණවූ රාජ්‍ය අමාත්‍යවරයාගේ සම්බන්ධිකරණ ලේකම්වරයෙකු බව කියන වයික්කාලේ පදිංචි රොසාන් සේනානායක සහ කොච්චිකඩේ පදිංචි මොහොමඩ් අලි නමැත්තන් මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රඛිත අබේසිංහ මහතා විසින් ලක්ෂ 10 බැගින්වූ පුද්ගල ඇප මත මුදාහරිනු ලැබීය.
මෙලෙස ඇප මත මුදාහරිනු ලැබුවේ වංචා කළ මුදලින් ලක්ෂ 15 ක් සම්බන්ධීකරණ නිලධාරියා සහ තැරැව්කරු විසින් රුපියල් 50000 ක් පැමිණිලිකාරියට ගෙවීමෙන් අනතුරුවය.පැමිණිලිකාරිය විමර්ශනයේදී ලබාදී ඇති තොරතුරු අනුව මොහොමඩ් නමැත්තා විසින් රාජ්‍ය අමාත්‍යවරයා මාර්ගයෙන් ඔස්ට්‍රේලියාවට යා හැකි බව පවසා අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම් හඳුන්වාදීම සිදුකර තිබේ.
ඉන්පසු පැමිණිලිකාරිය විසින් සම්බන්ධිකරණ ලේකම්වරයා ලබාදුන් ඔහුගේ සහ අමාත්‍යවරයාගේ නමින් ඇති බැංකු ගිණුම් දෙකකට මෙම වසරේ ජනවාරි මස 05දා සහ 22දා රුපියල් ලක්ෂ දොළහක් සහ හාරලක්ෂ අනූපන්දහසක මුදලක් තැන්පත් කර ඇති අතර, අතරමැදියා අතට ලක්ෂ දොළහක මුදලක් ලබාදී තිබේ.අමාත්‍යවරයා විදේශ ගතවන දිනයේදී ඔහු සමග ප්‍රභූ පර්යන්තයෙන් ගුවන්තොටුපොළට ඇතුළු වන ලෙස මෙම කාන්තාවට උපදෙස් ලබාදී ඇත. නියමිත දිනයේදී මෙම කාන්තාව ඥාතීන් සමග ගුවන්තොටුපොළට පැමිණ තිබෙන අතර තමාගේ පිටුපසින් පැමිණෙන ලෙස අමාත්‍යවරයා උපදෙස් දී තිබේ.
කෙසේ වෙතත් ලේඛනවල ගැටලුවක් හේතුවෙන් මෙම කාන්තාවට ගුවන්යානය වෙත ගමන්කිරීමට ආගමන විගමන නිලධාරීන් විසින් අවසර ලබාදී නොමැති බවද විමර්ශන වලදී අනාවරණය වූ බව පොලීසිය පවසයි.පොරොන්දුවූ පරිදි ඔස්ට්‍රේලියාවට යාමට අවස්ථාව ලබානොදුන් නිසා තමාගෙන් ලබාගත් මුදල් ආපසු ගෙවන ලෙස සැකකරුවන් ගෙන් සිදු කළ ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් වින්දිත කාන්තාව විසින් මීගමුව කොට්ඨාසයේ වංචා විමර්ශන අංශයට පැමිණිල්ලක් සිදු කර ඇත.
.සම්බන්ධීකරණ නිලධාරියාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී තම ගිනුමට තැන්පත් කළ ලක්ෂ 15ක මුදල තමන් විසින් රාජ්‍ය අමාත්‍යවරයාට ලබා දුන් බව ප්‍රකාශකර ඇතැයිද පොලීසිය පවසයි.මිගමුව කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එරික් පෙරේරා මහතාගේ උපදෙස් පරිදි කොට්ඨාසයේ වංචා විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රෝහණ මුණසිංහ සහ සැරයන් 2366 මනෝජ් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
මිගමුව -බර්ටි වීරසිංහ