රුපියල් මිලියන හත හමාරක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 510 ක් ළඟ තබාගෙන අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර්වරුන් දෙදෙනා ඇතුළු සිව් දෙනා අප්‍රේල් 26 වෙනි දින දක්වා රඳවා ගෙන ප්‍රශ්න කිරීමට අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය අවසර ලබා දී තිබේ.
මුල්ලේරියාව සිරි පැරකුම් මාවත ප්‍රදේශයේ නිවෙසක අයිස් මත්ද්‍රව්‍ය අලෙවි කරන බවට ලද තොරතුරකට අනුව මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපති ඇතුළු කණ්ඩායමක් පසුගිය 19 වැනි දින එම ස්ථානය පරීක්ෂා කිරීමෙන් පසුව මෙම පිරිස අත්අඩංගුවට ගනු ලැබීය.
අදාළ නිවස ඉදිරිපිට සැකකටයුතු ලෙස ගැවසුණු අයකු පොලිස් නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක් වූ අතර එහිදී එම සැකකරු ළඟ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 400 ක් සොයාගන්නට හැකි වූ බව මුල්ලේරියාව පොලිසිය කියයි.
ඔහුගෙන් ලද තොරතුරු අනුව අදාළ නිවෙස පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේදී නිවෙසේ දොරවල් වසා තිබීම හේතුවෙන් පොලිසිය පිටුපස දොර කඩා නිවෙසට ඇතුළු වී තිබේ. නිවෙසේ ඒ අවස්ථාවේ කිසිවකු පෙනෙන්නට නොසිටි බව පවසන පොලිසිය එම නිවෙස තුළ තිබූ කාමරයක දොර වසා තිබුණු දැක එම දොර කඩා බලන විට එහි සිටි පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගත් පුද්ගලයන් වැඩිදුරටත් පරීක්ෂා කිරීමේදී එක් අයෙකු ළඟ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 100ක් සොයාගෙන ඇත. ඔහු මෙම ජාවාරම සිදුකරන ප්‍රධාන පුද්ගලයා බව අනාවරණය කර ගැනීමට හැකි වූ බව පොලිසිය සඳහන් කරයි. එම අවස්ථාවේදී කාමරයේ සිටියදී අත්අඩංගුවට ගත් අනිත් දෙදෙනාගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී ඔවුන් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනකු බව හඳුනාගෙන තිබේ.
මොවුන් දෙදෙනා වසර එකහමාරක පමණ කාලයක සිට මෙම ස්ථානයට පැමිණ අයිස් මත්ද්‍රව්‍ය පානය කරන බව පවසා තිබේ. මෙම පුද්ගලයන්ගෙන් ලද තොරතුරු අනුව හෙළි වී ඇත්තේ මෙම ප්‍රදේශයේ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන්නේ පෙතියාගොඩ සංඛ නමැති අයකු බව පොලිසිය සඳහන් කරයි.
කමල් ශ්‍රී ලියනගේ