තලවතුගොඩ උතුවන්කන්ද හන්දිය ආසන්නයේ මහමග වැටී අභිරහස් ලෙස මියගොස් සිටි සූපවේදියකුගේ මළ සිරුරක් සොයාගත් බව තලංගම පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ පන්නිපිටිය කොට්ටාව ගැමුණු පුර 2 පටුමග පදිංචි ශාන් මධුසංක නමැති (35) හැවිරිදි අවිවාහක සූපවේදියකු බව පොලිසිය කියයි.
මෙම පුද්ගලයා තලවතුගොඩ උතුවන්කන්ද හන්දිය ආසන්නයේ එළවළු වෙළඳසැලක් අසල මහමග වැටී සිටියදී අසල්වාසීන් විසින් 119 හදිසි ඇමතුම් අංකයට දන්වා ඇති අතර ඒ අනුව පොලිසිය පැමිණ 1990 සුවසැරිය ගිලන් රථයක් ගෙන්වා රෝහල්ගත කිරීමට යාමේදී ඔහු මියගොස් ඇති බවට අනාවරණය වී තිබේ.
ඒ අනුව මෘත දේහය එම ස්ථානයෙන් ඉවත් නොකොට තලංගම හදිසි මරණ පරීක්ෂිකා සාම මිනිසුරු ප්‍රේමලතා අබේවර්ධන මහත්මිය ස්ථානීය පරීක්ෂණයක් සඳහා කැඳවන ලදී. එම අවස්ථාවේදී මෘත දේහය අසල මත්පැන් තිබූ බෝතලයක් සහ වස තිබූ බෝතලයක් තිබී හමු වූ බව පැවසේ.
ඒ අනුව මෙම පුද්ගලයා මත්පැන් සහ වස පානය කොට මිය යන්නට ඇති බවට ඇති වූ සැකය මත ස්ථානීය පරීක්ෂණයෙන් පසුව සාමවිනිසුරු ප්‍රේමලතා අබේවර්ධන මහත්මිය පොලිසියට නියෝග කර ඇත්තේ පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයට රැගෙන යන ලෙසයි.එහිදී අධිකරණ වෛද්‍ය නිලධාරී එල්. ගමගේ මහතා විසින් මෘතදේහය පිළිබඳ පශ්චාත් මරණය පරීක්ෂණය සිදුකොට මරණයට හේතුව නොදක්වා සිරුරේ කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකොට විවෘත තීන්දුවක් ලබාදීමට පියවර ගෙන තිබේ.
මියගිය පුද්ගලයාගේ මව මීට වසර පහකට පමණ පෙර පිළිකා රෝගයකින් මියගොස් තිබූ අතර ඒ වෙනුවෙන් සිය පියා සමග එක්ව අසීමිත ලෙස පින්දහම් කරමින් ජීවත්ව සිටියදී මියගිය තරුණයාට පියා පවසා ඇත්තේ " පුතේ මම දැන් ඉන්නේ බොහොම අසනීප තත්ත්වයෙන් , මන් ගැන හොයා බලන්න ඔයාට හරි අමාරුයි. ඒ නිසා මම වැඩිහිටි නිවාසයකට යන්නම්. පුතාට පුළුවන් වුන දවසකදි මාව ඔයා ලගට ගන්න" යැයි පවසා මීට මාස හයකට පමණ පෙර පියා වැඩිහිටි නිවාසයකට ගොස් ඇති බවට හදිසි මරණ පරීක්ෂණයේදී අනාවරණය වී තිබේ.
මියගිය තරුණයා සූප වේදය පිළිබදව ඉහළ අධ්‍යාපනයක් හැදෑරූ පුද්ගලයකු බවත් අවසන් වරටඊට සම්බන්ධ රැකියාවක නිරතව සිටි අයකු බවට තොරතුරු අනාවරණය වූ බවත් පැවසේ.
ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න