රාමඤ්ඤ මහා නිකායේ අභිනව මහානායක පදවියට පත් අතිපූජනීය මකුලෑවේ විමල හිමිපාණන්ට ලැබුණු උතුම් නායක පදවිය සම්බුද්ධ ශාසනයටත්, ලෝකවාසී බෞද්ධ ජනතාවටත් ආශිර්වාදයක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක, අග්ගමහා පණ්ඩිත, අතිපූජ්‍ය මකුලෑවේ විමල හිමිපාණන්ට අභිනව මහානායක පදවිය පිළිබඳ අක්තපත්‍ර ප්‍රදානෝත්සවයේ දී ජනාධිපතිවරයා මේ බව පැවසීය.
අක්තපත්‍ර ප්රදානය ඊයේ (24දා) පස්වරුවේ කොළඹ නිදහස් මන්දිරයේ දී සිදු කෙරිණි.
අභිනව මහානායක හිමියන්ට ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීම ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විජිණිපත පිළිගැන්වීය.
මහා නායක ස්වාමීන් වහන්සේගේ ශාසනික ප්‍රතිපදාව සමස්ත භික්ෂූන් වහන්සේගේ ගෞරවයට පාත්‍ර වන බවත් උන්වහන්සේ තුළ ඇති අල්පේච්ඡ ගුණය සමාජයට වටිනා පණිවිඩයක් දෙන බව ද ජනාධිපතිවරයා පැවසීය.
මහා සංඝරත්නයට ලබාදෙන ගෞරවය සමාජ ප්‍රතිපෝෂණයට ඉවහල් වන්නකි. රජය ශාසනය රකිමින් ශාසනික ප්රබෝධය වෙනුවෙන් කැප වන්නේ සමාජය වෙනුවෙන් වූ වගකීමක් ඉටු කිරීමට බව ද ජනපති පැවසීය
1960 මාර්තු මස 24 දින, මීරිගම, මිණිඔළුව විද්‍යාවාස පිරිවෙනේ දී පැවිදි දිවියට පත් වූ අතිපූජ්‍ය මකුලෑවේ විමල හිමිපාණෝ ප්‍රාචීන ප්‍රාරම්භ, ප්‍රාචීන මධ්‍යම විභාග ද උසස් ලෙස සමත්ව බුද්ධශ්රාවක ධර්ම පීඨ භික්ෂු විශ්වවිද්‍යාලයෙන් ත්‍රිපිටකවේදී උපාධිය හිමිකර ගත්හ.
දක්ෂ ධර්ම කථිකයාණන් වහන්සේ නමක් වූ අතිපූජ්‍ය මකුලෑවේ විමල හිමිපාණෝ දෙස් විදෙස්හි දහම් ප්‍රචාරය වෙනුවෙන් මහඟු මෙහෙවරක නිරතව සිටිති. ධර්ම ග්රන්ථ රැසක් සම්පාදනය කර ඇති උන්වහන්සේ සිංහල, පාලි, සංස්කෘත, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ප්රවීණත්වයක් උසුළති.
රාමඤ්ඤ මහා නිකායේ විවිධ තනතුරු දැරූ උන්වහන්සේ සද්ධර්ම කීර්ති ශ්‍රී, ශාස්ත්‍ර විශාරද, සාහිත්‍ය කීර්ති ශ්‍රී පරයත්තිධර, ශ්‍රී සරණංකරෝපසේන වංශාලංකාර, ශාසනසෝබන, ශාසනවංශාභිධජ සද්ධම්ම ජෝතික ගරු නාමවලින් පිදුම් ලැබූ අතර බුරුම රාජ්‍යයෙන් ප්රදානය කරන අග්ගමහා පණ්ඩිත ගරු නාමයෙන් ද පිදුම් ලැබීය.
මහාචාර්ය පූජ්‍ය රළුවේ පද්මසිරි හිමියන් විසින් රචිත අභිනව මහානායක හිමි අභිනන්දන ශාස්ත්‍රීය ග්‍රන්ථය එළිදැක්වීම ද මෙහි දී සිදු කෙරිණි.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරු විසින් අභිනව මහා නායක හිමියන්ට ප්‍රසාද පූජා කළහ.
ත්‍රෛනිකායික මහා සංඝරත්නය, මැති ඇමතිවරු, ආණ්ඩුකාරවරු, තානාපතිවරු, රාමඤ්ඤ මහා නිකායේ දායක සභාවේ සභාපති හිටපු කථානායක කරූ ජයසූරිය හා ලේකම් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක යන මහත්වරු, රාජ්‍ය නිලධාරීහු, දායක සභාවේ සාමාජික සාමාජිකාවෝ සහ මහානායක හිමිපාණන් වහන්සේගේ පවුලේ ඥාතීහු ඇතුළු පිරිස මෙම අවස්ථාවට සහභාගී වූහ.
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_41995f7664.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_22340b69e9.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_b3a9b3a35f.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_13b185c292.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_d174fbb6b8.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_39a39082f7.jpg)