ජෛව ආරක්ෂණ ක්‍රම භාවිත කිරීමෙන් අප්‍රිකානු සූකර උණ ව්‍යාප්තිය සම්පූර්ණයෙන්ම මෙරටින් තුරන් කරගත හැකි බව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය සිසිර පියසිරි මහතා පැවසීය.
හෙතෙම මේ බව කියා සිටියේ, කොළඹ ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි.එහිදී රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය සිසිර පියසිරි මහතා මෙසේද කීය.
“මේ රටේ සූකර කර්මාන්තය සාර්ථක ව්‍යාපාරයක්. එය ජනතාවට ප්‍රෝටීන් ලබා දෙන, සෘජු හා වක්‍ර රැකියා රැසක් නිර්මාණය වී තිබෙන ව්‍යාපාරයක්.
නමුත් ඒ කර්මාන්තකරුවන් මේ දිනවල කනගාටුදායක අත්දැකීමකට මුහුණ දීලා තියෙන්නෙ. ඒ තමයි අප්‍රිකානු සූකර උණ තත්ත්වය. මේක 2019 වසරෙදිත් මේ රටේ ව්‍යාප්ත වුණා. ඒ වෙලාවෙදි ජෛව ආරක්ෂණ ක්‍රම භාවිත කිරීමෙන් හා එන්නත් ක්‍රම භාවිත කිරීමෙන් වළක්වා ගැනීමට හැකි වුණා.
නමුත් පසුගිය දිනවල යළිත් එම රෝගී තත්ත්වය මේ රටේ ව්‍යාප්ත වීමත් සමග විශාල ලෙස ඌරන් මියයාමේ තොරතුරු වාර්තා වුණා. ඒ අනුව සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණවලදී අනාවරණය වී තිබුණෙ එය පී.ආර්.ආර්.ඇස් නමින් හඳුන්වන රෝගය නැවත මේ රටේ හටගෙන ඇති බවටයි.
එය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම නිසාත්, සංකූලතා වැඩිවීම නිසාත් අපේ අවධානය ඒ කෙරෙහි කඩිනමින් යොමු කරලා පරීක්ෂණ කරද්දී අපිට තොරතුරු අනාවරණය වුණේ එය අප්‍රිකානු සූකර උණ රෝගය මේ රටේ හටගෙන ඇති බවටයි.
මේ රෝගය ලංකාවෙන් වාර්තා වෙන්නේ පළවෙනි වරට. ලෝකය දිහා බලද්දි මේ රෝගී තත්ත්වය ඉතාම භයානක තත්ත්වයක්. ඒ නිසාම තවදුරටත් මේ රෝගය ව්‍යාප්ත වුවහොත් අපේ රටේ සූකර කර්මාන්තය සම්පූර්ණයෙන්ම විනාශ වෙන්න පුළුවන්. ඒ නිසා සූකර කර්මාන්තයේ නියැළී සිටින ව්‍යවසායකයන් හා ඒ හා සම්බන්ධ ජනතාව මේ කෙරෙහි දැඩි අවධානය කඩිනමින් යොමු කරලා ව්‍යාප්තිය අවම කිරීම සඳහා පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිනවා.
අප්‍රිකානු සූකර උන රෝගය ස්පර්ශයෙන් බෝවන රෝගයක්. එනිසා මෙය පාලනය කරන්න අමාරුයි. සතුන් විශාල ප්‍රමාණයක් මරණයට පත්වෙන්න පුළුවන්. ඒ තරමටම මේ වෛරසය ප්‍රබලයි. ඒ නිසා සූකර කර්මාන්තයේ නියැළෙන ව්‍යවසායකයන්ගෙන් ඉල්ලා සිටින්නේ මියගිය සතුන් අලෙවි කිරීම හෝ ප්‍රවාහනය කිරීම නොකරන ලෙසත් බාහිරින් ගොවිපළවල් තුළට ජනතාව හෝ වාහනවලට ඇතුල් වීමට ඉඩ නොදී ජෛව ආරක්ෂණ ක්‍රම භාවිත කරමින් ස්වයං විනයක් ඇති කරගෙන මේ රෝගය සම්පූර්ණයෙන්ම තුරන් කර ගැනීමට පියවර ගන්නා ලෙසයි.
ඒ වගේම තමයි මියගිය සතුන් හෝ ඔවුන්ගේ කොටස් ජල මූලාශ්‍රවලට හෝ කැලෑ බද ප්‍රදේශවලට බැහැර කිරීමෙන් වළකින්න. යම් හෙයකින් ඔබ මියගිය සතුන්ගේ කොටස් කැලෑවට බැහැර කිරීමේදී වෙනත් සතුන් එම ආහාර අනුභව කළහොත් මෙම රෝගය ඒ සතුන්ටත් බෝ වෙලා තවත් ව්‍යාප්ත වෙන්න පුළුවන්. එහෙම වුණොත් භයානක තත්ත්වයක්. ඒ නිසා මියගිය සතුන් හෝ ඔවුන්ගේ කොටස් බැහැර කිරීමේදී විධිමත් ක්‍රම භාවිත කරන ලෙසත් එම අවස්ථාවලදී උණු අළු භාවිත කරමින් පරිසරය පිරිසිදු කිරීම හොඳ තත්වයක් බවත් කිව හැකියි. ඒ සඳහා අවශ්‍ය උපදෙස් හා තොරතුරු පශු වෛද්‍යවරුන්ගෙන් හෝ දිවයින පුරා පිහිටි පශු වෛද්‍ය නිලධාරී කාර්යාලවලින් ලබාගන්න පුළුවන්.
ඒ වගේම තමයි මේ සතුන්ට ලබා දෙන ඉඳුල් තම්බා ලබා දීමට හැකිනම් ප්‍රායෝගික නොවුණත් එය ඉතාම සුදුසු ක්‍රමවේදයක්.
නිරන්තරයෙන්ම ඔබේ ගොවිපළ විෂබීජහරණයට ලක් කිරීම ඉතාම සුදුසු ක්‍රියාමාර්ගයක්. ඒ නිසා මේ තත්ත්වය පාලනය කිරීම සඳහා ලෝක සත්ත්ව සංවිධාන ගෙන ඇති පියවර සම්බන්ධයෙන් අපේ අවධානය මේ වන විට යොමු කරමින් තියෙන්නේ. ඊට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශය, සෞඛ්‍ය දෙපාර්තමේන්තුව හා පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ මොහොතේදී වගකීමෙන් යුතුව අවධානය යොමු කර ඇති බව කිව යුතුයි.
ඌරු ගොවිපළ අසල වාසය කරන ජනතාව හෝ සේවකයන් කිසිවකුත් බිය විය යුතු නැහැ. මේ රෝගය වාසනාවකට මිනිසුන්ට බෝ වෙන්නේ නෑ. ඒ නිසා ඔබ හැම දෙනාගේම සහයෝගය ලබා දී වසංගතයක් දක්වා ව්‍යාප්ත වීමට පෙර මෙම රෝගය මෙරටින් තුරන් කිරීමට සහාය දක්වන්න” ලෙස පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය සිසිර පියසිරි මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න