මෙම වසරේදී මෙරට අපනයන ආදායමෙන් 25%ක් පමණ අඩුවනු ඇතැයි පුරෝකථනය කර ඇති බව වාර්තා වෙයි. යුරෝපයෙන් මෙරටට ලැබුණු ඇනවුම් අඩුවීම ඊට හේතු වී ඇති බව වාර්තා වේ.
පසුගිය වසරේදී යුරෝපයෙන් ඇනවුම් කළ ඇඟලුම් නිෂ්පාදන තොග තවමත් අවසන් වී නොමැති බැවින් නව ඇනවුම් ලැබීම අඩාළ වී ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ.
මෙම වසරේ ජනවාරි සිට මැයි මාසය දක්වා කාලය තුළ පෙර වසරට සාපේක්ෂව ශ්‍රී ලංකාව ඇඟලුම් අපනයනයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 363.3ක් අඩු වී ඇති බව මහ බැංකු දත්ත වාර්තා පෙන්වාදී තිබේ.
ඒ අනුව මෙම වසරේ මුල් මාස පහක කාලය තුළ ශ්‍රී ලංකාව ඇඟලුම් අපනයනයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 1,843.3ක මුදලක් උපාය තිබෙන බවත්, එය පසුගිය වසරේ ජනවාරි සහ මැයි මාසය සමග සසඳන විට සියයට 16.5%ක පහත වැටීමක් බවත් වාර්තා වේ.
පසුගිය වසරේ ජනවාරි මස සිට මැයි මස දක්වා ශ්‍රී ලංකාව ඇඟලුම් අපනයනයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 2206.6ක් උපයා තිබෙන බව එම දත්ත වාර්තාවල සඳහන් වේ.
ගෝලීය ආර්ථිකය පසුබෑමට ලක්වීම හේතුවෙන් මෙම වසරේ මැයි මාසයේදී ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයන ඉපැයීම් 14.2%කින් පහත වැටී ඇති බවද එම දත්ත වාර්තාව මගින් පෙනී යයි.
පසුගිය වසරේ පළමු මාස 5ට සාපේක්ෂව මෙම වසරේ පළමු මාස 5 තුළ රෙදිපිළි අපනයන ආදායමද 3.1%කින් පහත වැටී ඇති බවත්, අනෙකුත් නිම කළ රෙදිපිළි ද්‍රව්‍ය 19%කින් පහත වැටී ඇති බවත් එම වාර්තාවේ දැක්වේ.