මල්වතු මහා විහාර පාර්ශවයට අයත් මිහින්තලේ අනුලා සෑයේ කැනීම් කටයුතු සිදුකිරීම සඳහා මල්වතු මහනාහිමියන් දැනුවත් නොකර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් වෙනත් පාර්ශවයක් සමග ගිවිසුමකට එළඹීම සම්බන්ධයෙන් මිහින්තලා රජ රජමහා විහාරාධිපති පූජ්‍ය වලවා හැංගුණවැවේ ධම්මරතන හිමියන්ගේ දැඩි විරෝධයක් එල්ල වී තිබේ .
අනුලා තෙරණියන්ගේ ධාතුන්වහන්සේලා තැන්පත් කොට මීට වසර දෙදහසකටත් පෙර ඉදිකොට ඇති අනුලා මහා සෑයේ සිදුකෙරෙන එම කැණීම් කටයුතු සම්බන්ධයෙන් වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියන් විසින් මල්වතු මහනාහිමියන් දැනුවත් කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්වරයා මල්වතු මහනාහිමියන් විසින්කැඳවා තිබූ අතර එම අවස්ථාවට මිහින්තලා රජමහා විහාරාධිපති හිමියන්ද සහභාගිවී සිටියහ .
එහිදී පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියන්පවසා සිටියේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ ආයතනය සමඟ ගිවිසුමකට එළැඹෙමින් මෙහි සංරක්ෂණ කටයුතු ආරම්භ කොට ඇති බවත් එම සංරක්ෂණ කටයුතුවලට මුදල් ලැබෙන්නේ කෙසේදැයි කිසිවෙකුත් නොදන්නා බවත් දැනට රුපියල් මිලියන 300ක මුදලක් වැය වී තිබෙන බව පවසන බවත්ය .
එතරම් මුදලක් එම වැඩකටයුතු සඳහාවැය වී නොමැති බවට පැහැදිලිව පෙනෙන බව පැවසූ උන්වහන්සේ මුදල් සම්බන්ධයෙන් කිසිදු විගණනයක්ද සිදුව නොමැති බවද පැවසීය .
ඒ හේතුවෙන් මහනායක හිමිපාණන් වහන්සේ විසින් ජනාධිපතිවරයාට හා පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්වරයාටඒ සම්බන්ධයෙන් සොයා බලන ලෙසට දැනුම් දුන් බවද පැවසීය .
සුදු ජාතිකයන් විසින් පනත් සකසා පුරාවිද්‍යා වටිනාකමක් ඇති ස්ථාන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පවරාදී තිබුණද එහි වැඩ කටයුතු ශාසනික සම්ප්‍රදායට අයත් කාර්ය පටිපාටිය අනුව සිදු විය යුතු බවද මිහින්තලා නාහිමියෝ පැවසීය .
එහිදී පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය තුසිත මෙන්ඩිස් මහතා පවසා සිටියේ පුරාවිද්‍යා රක්ෂිත භූමියක් වෙනත් කිසිදු පාර්ශ්වයකට පවරාදීමේ හැකියාවක් නොමැති බවත් පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්වරයාට එවැනි බලයක් ද නොමැති බවයි .
අදාල ස්ථානවල පර්යේෂණ හා සංරක්ෂණ කටයුතු සිදුකිරීම සඳහා ගිවිසුම් ගත වීම පවා සිදු කරනු ලබන්නේ කැබිනට් පත්‍රිකාවකට අනුව නීතිපති උපදෙස් ලබා ගනිමින් බවද පැවසීය .