ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක විධිමත් අමාත්‍යාංශ 25ක් ඇති කරන බවත්, රාජ්‍ය අමාත්‍ය ධුර ලබානොදෙන බවත් ජාතික ජනබලවේගයේ නායක, ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. අමාත්‍යවරුන්ගේ පුද්ගලික සුඛ විහරණය සහිත ආණ්ඩුකරණය නතර කරන බව ද ඔහු ප්‍රකාශ කළේය. සියලුම ජනයාගේ අයිතිවාසිකම් සුරක්ෂිත වන පරිදි අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ස්ථාපිත කරන බව දිසානායක මහතා සඳහන් කළේය.
විදෙස් රටවල් සමග ගනුදෙනු කිරීමේ දී ප්‍රධාන වශයෙන් සැලකිල්ලට ගනු ලබන්නේ එම ගනුදෙනු හරහා ලංකාවට සිදුවන වාසි අවාසි පිළිබදව පමණක් යැයි ද ඒ මහතා මහතා ප්‍රකාශ කළේය. අනුර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ අද (26දා) මොනාක් ඉම්පීරියල් හෝටලයේ පැවති ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමේ අවස්ථාවේදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය.
“අපි ශක්තිමත් මතවාදයක් ජනතාව වෙතට ගෙන ආ යුතුව තිබුණා. අපි දීර්ඝ කාලයක් මේ රට පත්ව සිටින තත්ත්වය පිළිබඳවත්, මේ රට මේ තත්ත්වයෙන් ගොඩගන්නේ කෙසේ ද කියන එක පිළිබඳවත්, ඊට අපේ විසඳුම් මොනවාද කියන එක පිළිබඳවත් අපි ජනතාව සමග සාකච්ඡා කළා. ඒ සියල්ල සම්පිණ්ඩනය කර විධිමත් වැඩපිළිවෙළක් අපේ රට හමුවේ තැබීම තමයි අපේ ඊළඟ අදියර වුණේ. අපිට ශක්තිමත් මතවාදයක් තිබෙනවා. ශක්තිමත් බලවේගයක් තිබෙනවා. එයට නායකත්වය දිය හැකි ශක්තිමත් නායකත්ව මණ්ඩලයක් අපිට තිබෙනවා. ඒ මාවත තමයි සැප්තැම්බර් 21වෙනිදා ආරම්භ වෙන්නේ.
බොහෝ අය තමන්ගේ කාලය,දැනුම නිර්ලෝභීව මේ සදහා ලබාදුන්නා. ක්ෂේත්රවල සිටින විවිධ කණ්ඩායම් සමග සාකච්ඡා කරලා, ඔවුන්ගේ අවශ්‍යතා ද අපි මෙම ප්‍රතිපත්ති සකස් කිරීමේ දී සැලකිල්ලට ගත්තා. සෑම ක්ෂේත්රයකටම අදාළව වෙන වෙනම ප්‍රතිපත්ති ප්‍රකාශයන් ද අප ඉදිරිපත් කර තිබෙනවා. මේ වැඩපිළිවෙළෙහි ඒ සියලු ක්ෂේත්රවල සාරාංශයක් ඇතුළත් කර තියෙන්නේ. ඒ ඒ ක්ෂේත්‍ර පිළිබඳව පුළුල්ව අපි ඒ ඒ ප්‍රතිපත්ති ප්‍රකාශ තුළ සාකච්ඡා කරලා තියෙනවා. අපේ ප්‍රතිපත්ති ගැන අපිට වඩා කතා කළේ වෙන අය. ගැටුමකට අපි මැදිහත් වෙන්නේ නෑ. නමුත් අපි අද ඒ සියලු අවලාද , අසත්‍ය, විකෘති කරන ලද තොරතුරුවලට ශක්තිමත් පිළිතුරක් අද ලබාදී තිබෙනවා. එය පොහොසත් රටක්, ලස්සන ජීවිතයක් කියන ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ඉදිරිපත් කරලා තියෙනවා. මේක තමයි අපේ භාවිතාව.
විශේෂයෙන්ම මේ වැඩපිළිවෙළෙහි ඇතුළත් විශේෂ කරුණු කිහිපයක් පිළිබඳව මම අවධානය යොමු කරන්න කැමතියි. මේ රට පද්ධතියක් වශයෙන් බිඳ වැටිලා තියෙනවා. සියලු ක්ෂේත්‍ර අද පද්ධති වශයෙන් බිඳ වැටිලා තියෙනවා. නීති ක්ෂේත්රය, සංචාරක ක්ෂේත්රය, කර්මාන්ත ක්ෂේත්රය වගේ සෑම ක්ෂේත්රයකම අයට කියන්න තියෙනවා ඔවුන්ගේ වෘත්තිය පද්ධතියේ බිඳ වැටීම පිළිබඳ කතාවක්. අපි එකක දෙකක අර්බුදයක නෙමෙයි ඉන්නේ. සමස්ත පද්ධතියම කඩාවැටීමක තියෙන්නේ. මේ පද්ධතියම යළි ප්‍රතිෂ්ඨාපනය කිරීමේ වැඩපිළිවෙළ තමයි ජාතික ජනබලවේගය ඉදිරිපත් කර තිබෙන්නේ.
මේ වැඩපිළිවෙළ තුළ අපි බර තබනවා, අපේ රට ඉදිරියට යන්න නම් නීතියේ ආධිපත්‍ය තහවුරු විය යුතුයි කියන එකට. නීතියේ තියෙන ප්‍රධාන මූලධර්මයක් වන නීතිය ඉදිරියේ සැවොම සමානයි කියන මූලධර්මයට යළි පණ දිය යුතුයි. අනපනත්වල හෝ ආයතන ව්‍යුහයන්ගේ දුබලතා නෙමෙයි. ප්රශ්නය තියෙන්නෙ කැත දේශපාලන සංස්කෘතියෙයි. දේශපාලන මැදිහත් වීමෙන් මේ ආයතන මුදවා ගන්නවා. අපිට අවශ්‍ය පොලිස්පතිවරයෙක්. ඔවුන්ට අවශ්‍ය ඒ සදහා නමක්. අපි මේ වගේ දේවල් වෙනස් කරනවා. අනෙකාට එරෙහි දේශපාලනයක් වෙනුවට සමගියේ දේශපාලනයක් ඇති කරනවා. සියලුම ජනයාගේ අයිතිවාසිකම් සුරක්ෂිත වන පරිදි අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අපි ස්ථාපිත කරනවා. ප්‍රායෝගිකව තමන්ගේ භාෂාවෙන් රාජ්‍ය සමග කටයුතු කරන්න අපි ඉඩ සලසා දෙනවා. තමන්ගේ භාෂාවෙන් යොමු කරන ලිපියකට ඒ භාෂාවෙන් පිළිතුරු ලැබෙන, තමන්ගේ භාෂාවෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කළ හැකි පරිසරය අපි හදනවා. භාෂාවේ අයිතිය වගන්ති තුළ පමණක් නෙමෙයි, එය යථාර්ථවාදී කිරීමේ වැඩපිළිවෙළ අපි ක්‍රියාත්මක කරනවා.
යහපත් ආණ්ඩුකරණයක් අපිට අවශ්‍යයි. ආණ්ඩුකරණය ගිලගෙන තිබෙන දේශපාලනයෙන් අපි එය නිදහස් කරනවා. රාජ්‍ය සේවයට බදවාගැනීම්, අනුයුක්ත කිරීම් ආදි සියල්ලට දේශපාලනය මැදිහත් වෙනවා. අපි එය නතර කරනවා. අපට කිසිදු පෞද්ගලික උවමනාවක් නෑ රාජ්‍ය සේවය හසුරවන්න. උපරිම ආමත්‍ය ධුර 25යි. විධිමත් ලෙස සකස් කරන ලද අමාත්‍යංශ 25යි. රාජ්‍ය අමාත්‍යාංශ කියන පිස්සුව නතර කරන්න ඕන. ඒක බොරුවක්. ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක රාජ්‍ය අමාත්‍ය ධුර නැහැ. අමාත්‍යාංශ 25ට අදාළ නියෝජ්‍ය අමාත්‍ය ධුර 25ක් පමණක් ලබාදෙනවා. අමාත්‍යවරුන්ගේ පුද්ගලික සුඛ විහරණය සහිත ආණ්ඩුකරණය ජාතික ජනබලවේගය නතර කරනවා.
විදෙස් ප්‍රතිපත්තිය ඉතාම වැදගත්. ශක්තිමත් විදෙස් ප්රතිපත්තියක අවශ්‍යතාව හොඳින්ම තියෙන යුගයක් මේක. අපි පැහැදිලිව කියනවා, අපේ කලාපීය ආරක්ෂාවට, කලාපීය රාජ්‍යයන්ට තර්ජනයක් වන ආකාරයෙන් ලංකාවේ ගොඩබිමත්, ගුවනත්, මුහුදත් උපයෝගි කරගන්න ජාතික ජනබලවේගයේ ආණ්ඩුව ඉඩදෙන්නෙ නෑ. ගනුදෙනුවේ දී ඒක අපේ රටට කොයිතරම් වාසි ද අවාසි ද කියන එකයි අපි සැලකිල්ලට ගන්නේ”.