නාගරික සංවර්ධන සැලසුම් අනුමත කිරීමේදී ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටුව සහ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ අනුමැතිය අනිවාර්ය කර ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
ඔහු අවධාරණය කරන්නේ මහජනතාවට ඵලදායි ලෙස සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම උදෙසා මෙම තීරණය ගත් බවයි.
පසුගිය කාලයේදී එවැනි අනුමැතියකින් තොරව ක්‍රියාත්මක කළ සංවර්ධන ව්‍යාපෘතිවල විවිධ ගැටළු මතුවී ඇති බව ඇමතිවරයා සඳහන් කලේය.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ උපදේශක කාරක සභා රැස්වීමේ දී ඇමතිවරයා මේ බව සඳහන් කළේය. පසුගියදා (25) අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී එය පැවැත්විණි.
කොළොන්නාව නගර සභාවේ කැලිකසල කෙරවලපිටියට යැවීම සඳහා අවශ්‍ය පහසුකම් සපයා දෙන ලෙස මෙහිදී සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා විසින් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගෙන් ඉල්ලීමක් කළේය. ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කර වාර්තාවක් ලබා දෙන ලෙස අමාත්‍යවරයා අමාත්‍යාංශ නිලධාරින්ට උපදෙස් දුන්නේය.
කොළඹ ගංවතුර පාලනයට කළු පාලමේ ඉදිකිරීම යෝජනා වී ඇති පොම්පාගාරය ඉදිකිරීම කඩිනම් කිරීමෙන් කොළඹ ගංවතුර පාලනය අවම වන බව මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මාරික්කාර් මහතා කියා සිටියේය.
එහි සම්පූර්ණ ව්‍යාපෘතිය සිදු කිරීමට නම් ඒ සඳහා රුපියල් බිලියන 3ක පමණ ප්‍රතිපාදන අවශ්‍ය බවත් කෙටි කාලීන විසදුමක් ලෙස රුපියල් මිලියන 600 වටිනා මීටර් කියුබ් 05ක විතර ප්‍රමාණයෙන් යුත් පොම්පාගරයක් මේ වනවිට ඉල්ලා ඇති බවත් ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති හිරාන් බාලසූරිය මහතා පැවසීය.
ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී අවධාරණය කර සිටියේ මේ සම්බන්ධයෙන් කඩිනමින් පියවර ගැනීම සඳහා මහා භාණ්ඩාගාරය සහ ජනාධිපතිතුමන්ව දැනුවත් කීරීමට කටයුතු කරන බවයි.
කොලොන්නාව ඉන්ධන ගබඩාව ආශ්‍රීතව ඉඩම් අධි ආරක්ෂිත කලාපයක් ලෙස නම් කර තිබීම නිසාවෙන් මීටර් 300ට වැඩි ඉදිකිරීම් සිදු කිරීමේදී නාගරික සංවර්ධන අධිකාරියේ අනුමැතිය හිමි නොවන බවටත් එය එම ප්‍රදේශයේ ජනතාවට සිදුකරන අසාධාරණයක් බවටත් මෙහිදී කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය.
ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශයට පත්කර ඇති මෙම ගැසට්ටුව නිසාවෙන් එහි ඉදිකිරීම් සිදු කිරීමේදී ඒ අවට සැලැසුම් සඳහා අනුමැතිය ලබා දීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවට මෙහිදී අනාවරණය විය.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ උපදේශක කාරක සභා රැස්වීමේ දී ගනු ලැබූ තීරණයක් මත එම නීතිය ඉවත් කර ගැනීමට ආරක්ෂක අමාත්‍යාංශය දැනුවත් කරන ලෙසට පැවසු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා එහිදී නිලධාරින්ට කියා සිටියේ නීතිමය පැත්තෙන් පමණක් නොබලා මානුෂියවද ඒ ගැටළුව සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසයි.
කොලොන්නාව ඉදිකිරීමට යෝජිත පාසලක් මාලිගාවත්ත ඇපල්වත්ත ප්‍රදේශයේ ඉදිකිරීමට තීරණය කිරීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරිණ. මාලිගාවත්ත ඇපල්වත්ත ප්‍රදේශයේ ඉදිකිරීම යෝජිත පාසල අවට තවත් පාසල් හතරක් තිබෙන නිසාවෙන් එය එහි ඉදිකිරීම ප්‍රායෝගික නැති බවටද මෙහිදී අනාවරණය විය.
ඇමති ප්‍රසන්න රණතුංග මහතා එහිදී නිලධාරින්ට උපදෙස් දුන්නේ උපදේශක කාරක සභාවේ සාකච්ඡා වූ පරිදි එය මීතොටමුල්ල ප්‍රදේශයේ ඉදිකිරීමට කටයුතු කරන ලෙසයි.