සංචාරක වීසා මත මෙරට රැඳී සිටිමින් අන්තර්ජාලය හරහා මූල්‍ය වංචා සිදුකළ චීන ජාතිකයින් 130 දෙනෙකු මහනුවර පොලීසිය විසින් ඊයේ (12) කුණ්ඩසාලේ, ප්‍රදේශයේ ප්‍රදේශයේ පිහිටි හෝටලයක දී අත්අඩංගුවට ගනු ලැබීය.
අන්තර් ජාතික මට්ටමින් රුපියල් බිලියන ගණනින් වංචා කළ මෙම චීන ජාතිකයින් පිරිස පසුගිය මස 30 සිට හෝටලයේ සුඛෝපභෝගි කාමර 72 න් 47 ක් මාස හයක කාලයක් සඳහා කුලියට ගෙන එහි රැඳී සිට තිබෙන බව පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.
සැක කටයුතු ලෙස චීන ජාතිකයින් විශාල පිරිසක් හෝටලයේ රැඳී සිටින බවට පොලිසියට ලැබුණු තොරතුරකට අනුව මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාගේ උපදෙස් මත පොලිස් කණ්ඩායම් කිහිපයක් මගින් එම ස්ථානය වැටලීමට පියවර ගෙන ඇත.
අත්අඩංගුවට ගන්නා ලද චීන ජාතකයින් එකසිය විසි හය දෙනා අතර කාන්තාවන් 17 දෙනෙකු සිටින බව පොලිසිය සඳහන් කරන අතර වැටලීම සිදුකරන අවස්ථාවේ චීන ජාතිකයන් සිව් දෙනකු මහවැලි ගඟ හරහා පිහිනා පලා ගොස් තිබෙන බවද වාර්තාවී තිබේ.
ලොව ප්‍රධාන පෙළේ බැංකුවල රුපියල් බිලියන ගණනින් මුදල් තැන්පත් කර තිබෙන ගිණුම් හිමිකරුවන්ගේ ගිණුම් වලට අන්තර්ජාලය ඔස්සේ ඉතා සූක්ෂම ලෙස ඇතුල් වෙමින් මෙම පුද්ගලයින් රුපියල් කෝටි ගණනින් මුදල් වංචනික ලෙස ලබාගෙන තිබෙන බවට පොලිසිය සැක කරයි.
සැකකරුවන් සතුව තිබී අති නවීන ලැප්ටොප් පරිගණක 120 ක් ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථන තුන්සියයක්, ඩෙස්ටොප් පරිගණක 15 ක්, රවුටර් 50 සමඟ තාක්ෂණික උපකරණ තොගයක් පොලිසිය භාරයට ගෙන තිබේ.
පසුගිය දිනක හබරණ ප්‍රදේශයේදී ද මේ ආකාර වංචනික ක්‍රියාවක නිරත වූ චීන ජාතික කණ්ඩායමක් අත්අඩංගුවට ගෙන තිබූ අතර එම අවස්ථාවේ පලා ගිය චීන ජාතිකයින් 26 දෙනෙකුද මෙම සැකකරුවන් අතර සිටින බව පොලිසිය පවසයි.
සැකකාර චීන ජාතිකයින් මේ දක්වා හෝටලයේ නවාතැන් ගෙන සිටි දින දහයක කාලසීමාව සඳහා ඔවුන් රුපියල් ලක්ෂ පනහක ආහාර ඇනවුම් බිල්පත් ගෙවා තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය කරගෙන ඇත.
සැකකාර චීන ජාතීන් සමඟ භාෂා පරිවර්තකයෙකු ලෙස කටයුතු කළ ශ්‍රී ලාංකිකයෙකු ද මෙහිදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
වැටලීම සිදුකරන අවස්ථාවේ චීන ජාතිකයින් කණ්ඩායම හෝටලයේ උත්සව ශාලාව තුළ රැඳී සිටිමින් බැංකු ගිණුම් විස්තර ඒකරාශී කරමින් සිට ඇති අතර එම ස්ථානය හෝටල් සේවකයින්ට පවා තහනම් කලාපයක් ලෙස පැවත තිබෙන බව වැටලීම කළ නිලධාරීහු වැඩිදුරටත් සඳහන් කළේ ය.
මෙම චීන ජාතිකයින් පිරිස හෝටලයට පැමිණි මුල් දිනවලම ප්‍රදේශවාසීන් පොලිස් හදිසි ඇමතුම් අංශයට ඒ සම්බන්ධව දැනුම් දී ඇතත් එම පැමිණිලි වලට අදාළව නිසි විමර්ශනයක් සිදුව නොමැති බවද දැනගන්නට ඇත.
මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ විශේෂ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අරුණ ජයසිංහ මහතාට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කිරීමට පියවර ගෙන ඇත.
මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක, මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායක යන මහත්වරුන්ගේ උපදෙස් මත මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලක් සමරනායක මහතා ඇතුළු පොලිස් කණ්ඩායම් කිහිපයක් මෙම වැටලීම සිදුකර ඇත.