අධිවේගී මාර්ගයේ අන්තර් හුවමාරු වෙත නිසි අයුරින් ප්‍රමාණවත් මුදල් අයකැමිවරුන් යෙදීමට බලධාරීන් අවශ්‍ය පියවර නොගැනීම හේතුවෙන් ඇතැම් වාහන රියදුරන්ගෙන් ටිකට් පත් සඳහා අය කෙරෙන මුදල් නිසි පරිදි අය කර ගැනීමට නොහැකිව දිනෙන් දින රුපියල් ලක්ෂ ගණනින් පාඩුවක් ලබන බව මාර්ග සංවර්ධන අධිකාරී අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි
කොළඹ පිටත වටරවුම් මාර්ගයේ අතුරුගිරිය අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ වසර ගණනාවක සිට සිදුවූ බව කියන මහා පරිමාණ මුදල් වංචාව සම්බන්ධයෙන් කෝප් කමිටුවේද නිර්දේශ මත ප්‍රධාන මුදල් අය කැමී ඇතුළු අය කැමිවරුන් 22 කුගේ වැඩ තහනම් කිරීමට පාලනාධිකාරිය විසින් කටයුතු කරනු ලැබුවේ ඉකුත් මස 24 වෙනිදින ය.
වැඩ තහනමට ලක් කරනු ලැබූ එකි සේවක පිරිසගේ වැඩ ආවරණය කිරීම සඳහා ගැලනිගම, බෙලිඅත්ත හා මාගම්පුර කාර්යාල වල අතිරික්තව සිටින සේවකයන් අනුයුක්ත කරන ලෙසද කෝප් කමිටුව විසින් වැඩිදුරටත් දන්වන ලදී
වැඩ තහනම ක්‍රියාත්මක කෙරුණද අතිරේකව සිටින විශාල සේවක පිරිස එම අන්තර් හුවමාරු මධ්‍යස්ථානයට සහ අනෙකුත් ස්ථානවලට නිසි අයුරින් කඩිනමින් ස්ථානගත ගත කරන ලෙසද කෝප් කමිටුවේ දි උපදෙස් ද ලබා දී තිබිණි
ඊට අමතරව පෑලියගොඩ කෙළවර පිටියේ කටුනායක වැනි කාර්යාලවල සේවක හිගය නිසා ප්‍රමාණවත් අයකැමි කුටි විවෘත කිරීමට නොහැකි වීමෙන් කිලෝමීටර් ගණන් වාහන පෝලිම් තිබෙන බව කෝප් කමිටුවේදී මන්තිවරුන් ප්‍රශ්න කල අතර ඒ සඳහා අතිරික්ක සේවක පිරිස් සතියක් ඇතුළත එම ස්ථානවලට ස්ථාන මාරු කරන ලෙසද එය කෝප් කමිටුවට වාර්තා කරන ලෙසද කෝප් කමිටු සභාපතිවරයා අමාත්‍යාංශ ලේකම්වරයාට සහ සභාපතිවරයාට නියෝග කළේය
එසේ වුවද පසුගිය කාලය පුරා විටින් විට කොතලාවල, අතුරුගිරිය ,පෑලියගොඩ , කෙළවරපිටිය, කටුනායක , මත්තල , කුරුඳුගහ හැතැක්ම හා මත්තල පිවිසුම් දොරටු වලින් වාහන ඇතුළු වීමේදී ටිකට්පත් නිකුත් කිරීමට මුදල් අය කැමීවරුන් නොවීම හේතුවෙන් ඇතැම් රියදුරන් ගමනාන්තය නිම කිරීමේදී ඇතුල්වීමේ අන්තර් හුවමාරුව වාසිදායක වන අයුරින් වංචනික ලෙස (ආසන්නතම අන්තර් හුවමාරුවක නමක් පවසා) අන්තර් හුවමාරුවේ පිටවීමේ දොරටුවේ සිටින මුදල් අයකැමිට පැවසීම හේතුවෙන් මාර්ග සංවර්ධන අධිකාරියට ලැබිය යුතු විශාල මුදල් ප්‍රමාණයක් නොලැබීමේ තත්ත්වයක් හටගෙන ඇති බව දැනගන්නට ඇත.
මුදල් අය කැමි තනතුර දරන පුද්ගලයන් බොහෝ පිරිසක් වසර ගණනාවක සිට කාර්යාල වල රැඳී සිටිමට පුරුදු වීම හේතුවෙන් අන්තර් හුවමාරු මධ්‍යස්ථානය කරා යාමට දැඩි මැලිකමක් දක්වන බවත් ඒ අතරින් බහුතරයක් දෙනා එම තත්ත්වය වළක්වා ගැනීම සඳහා විවිධ දේශපාලනඥයන් හමුවට ගොස් නිලධාරීන්ට බලපෑම් කර ඇති බවද අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.