වෙළඳපොළ තුළ ඉහළ ගොස් ඇති දේශීය බිත්තර මිල තව සති දෙකකින් පමණ පහත වැටෙනු ඇති බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ආර් .එම් .සරත් රත්නායක මහතා පවසයි.
පවතින අධික රස්නය, සහ වැට් බදු වැඩිවීම හේතුවෙන් බිත්තර නිෂ්පාදනයට ගැටලුකාරී තත්ත්වයක් මතුවී ඇතැයි රත්නායක මහතා කියා සිටි.
පවතින අධික රස්නය හේතුවෙන් බිත්තර දමන කිකිළියන් අධික ලෙස ජලය පානය කරමින් ආහාර අඩුවෙන් කෑම නිසා බිත්තර දැමීම සැලකිය යුතු මට්ටමකට පහත බැසීමත් සිදු වූ බව පවසන සභාපතිවරයා බිත්තර දමන කිකිළියන් හට අවශ්‍ය විටමින් වර්ග ඖෂධ සහ කුකුළු කෑම මිලද විශාල ලෙස ඉහළ යාම බිත්තර නිෂ්පාදනයට දැඩි බලපෑමක් එල්ල කළ බව කිය.
ඒ අනුව මීට පෙර රුපියල් 38 කින් නිෂ්පාදනය කළ බිත්තරයක් මේ වන විට නිෂ්පාදනය සඳහා රුපියල් 43 ක් වැය වන බව ඔහු කියා සිටි.
එසේම වෙළඳපොළ තුළ එළවලු, මස්, මාළු, කරවල මිලද සීඝ්‍ර ඉහළ යාමක් සිදුවීම තුළ පාරිභෝගික ජනතාවගේ බිත්තර පරිභෝජනය වැඩි වූ බව පවසන රත්නායක මහතා නිෂ්පාදනය අඩුවීම හා ඉල්ලුම වැඩිවීම තුළ ද බිත්තර මිල ඉහළ යාමක් සිදුවූ බව පැවසීය.
පැවති තත්ත්වය මේ වන විට පහව යමින් පවතින බවත් මේ වන විට දිනකට බිත්තර ගෙඩි ලක්ෂ 65 ත්70ත් අතර ප්‍රමාණයක් නිෂ්පාදනය වෙමින් පවතින බැවින් මාර්තු මස මුල් සති දෙකෙන් පසුව බිත්තර ගෙඩියක් රුපියල් 50 ට අඩුවෙන් මිලදී ගැනීමට පාරිභෝගික ජනතාවට හැකි වනු ඇති බවද සරත් රත්නායක මහතා වැඩිදුරටත් පැවසීය.
දෙවොලපොල කීර්ති ප්‍රනාන්දු