ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පත්වීම බල රහිත කරන්නැයි ඉල්ලා පක්ෂයේ වැඩ බලන ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවරු නඩුවෙන් ඉල්ලා ඇති වාරණය නිකුත් කරනවාද? නැද්ද? යන්න පිළිබඳ නියෝගය හෙට (15) ප්‍රකාශයට පත්කරන බව කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතානගේ මහතා අද (14) දැනුම් දුන්නේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති නිමල් සිරිපාල ද සිල්වා සහ වැඩ බලන ප්‍රධාන ලේකම් දුමින්ද දිසානායක මහත්වරුන්ට පක්ෂ කටයුතු කරගෙන යෑමට බාධා කිරීම් වළක්වාලමින් වාරණයක් නිකුත් කරන්නැයි කළ ඉල්ලීම් සම්බන්ධ නියෝග ප්‍රකාශයට පත් කිරීම කිරීම මෙලෙස කල් තැබීණි.
පාර්ලිමේන්තු මන්ත්‍රී දිසානායක මහතා මගින් පැවරූ මෙම නඩුවේ වගඋත්තරකරුවන් වශයෙන් සරත් ඒකනායක, අමාත්‍ය විජේදාස රාජපක්ෂ, කීර්ති උඩවත්ත, වැඩ බලන සභාපති නිමල් සිරිපාල ද සිල්වා, ජ්‍යෙෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර මහත්වරුන් නම්කර ඇත.
විජයදාස රාජපක්ෂ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කරුණු දක්වමින් තම සේවාදායක විජයදාස රාජපක්ෂ මහතාගේ පක්ෂ කටයුතුවලට බාධා කිරීම වළක්වාලමින් කඩුවෙල දිසා අධිකරණයෙන් වාරණයක් දී තිබියදී මෙවන් නියෝගයක් ඉල්ලා සිටීම නිත්‍යානුකූල නොවන්නේ යැයි කීය.
මෙම අධිකරණය යම් නියෝගයක් නිකුත් කරන්නේ නම් කඩුවෙල දිසා අධිකරණයෙන් නියෝගයක් දී ඇතැයි යන කරුණ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු යැයි කී ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා මෙම අධිකරණයෙන් වාරණ නියෝගයක් නිකුත් කිරීම වළකාලන්නැයි ඉල්ලා සිටියේය.
පැමිණිලිකාර දුමින්ද දිසානායක මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ඡන්දක ජයසුන්දර මහතා කරුණු ඉදිරිපත් කරමින් කඩුවෙල දිසා අධිකරණ නඩුවේ විත්තිකාරයකු වන විජේදාස රාජපක්ෂ මහතා එම අධිකරණයෙන් වාරණ නියෝගයක් නිකුත් කර ඇතැයි සඳහන් කරනුයේ කුමන පසුබිමක් තුළදැයි විමසා සිටියේය.
කඩුවෙල දිසා අධිකරණ නඩුවේ විත්තිකරුවන්ට මෙතෙක් වාරණ නියෝග නොතීසි ලැබී නොමැති බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ ඡන්දක ජයසුන්දර මහතා කෙසේ වෙතත් වෙනත් උසාවියක නියෝගයක් ඇති බව සඳහන් කරමින් ප්‍රධාන දිසා විනිසුරුවරයාගේ අධිකරණ බලයට බලපෑම් කළ නොහැකි බවත් පැවසීය.
ඉදිරිපත් වු සිය`ථ කරුණු සළකා බැලු විනිසුරුවරයා නඩුවෙන් ඉල්ලා ඇති වාරණය නිකුත් කරනවාද? නැද්ද? යන්න පිළිබඳ නියෝගය හෙට (15) ප්‍රකාශයට පත්කරන බව දැනුම් දුන්නේය.