විදුලි බලාගාර ක්‍රියාත්මක කිරීමට ඉන්ධන නොමැති වීම හේතුවෙන් අද (23දා) දිනයේ පැය 04.30ක සහ පැය 04.40ක විදුලි කප්පාදුවක් සිදු කරන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.
විදුලිය කප්පාදු කිරීම කාණ්ඩ වශයෙන් සිදු කරන අතර, පෙරවරු 08.30 සිට රාත්‍රී 10.30 දක්වා කොටස් දෙකකට විදුලි කප්පාදුව සිදු කරන බව ඊයේ (22දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම සඳහන් කළේය.
ඒ අනුව A,B,C යන කාණ්ඩ සඳහා පැය 4.40ක විදුලි කප්පාදුවක් සිදු කරන අතර, එහිදී උදය කාලයේ පැය 02ක සහ රාත්‍රී කාලයේ පැය 2.40ක කාලයක් විදුලිය කප්පාදු කිරීම සිදු කරනු ලබයි.
මීට අමතරව P,Q,R,S,T,U,V,W යන සෙසු කාණ්ඩ සඳහා උදය කාලයේ පැය 02ක් සහ රාත්‍රී කාලයේ පැය 2.30ක් ලෙස අද දිනයේ පැය 4.30ක් විදුලිය කප්පාදුවක් සිදු කෙරේ.
එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ ජනක රත්නායක මහතා,
ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලීමක් කළා හෙට දිනයේදී පැය 07ක පමණ විදුලි කප්පාදුවක් සිදු කිරීමට අවශ්‍ය බව. එසේ වුවත් මහජන උපයෝගීතා කොමිසමේ මැදිහත්වීම මත අපට අවශ්‍ය යම් ප්‍රමාණයක තෙල් සංචිත ප්‍රමාණයක් ලැබුණු නිසා ලංකාවේ සියලුම පළාත්වලට පැය 4.30ත් - පැය 4.40ත් අතර කාලයක් විදුලිය විසන්ධි කිරීමක් සිදු කරන බව දැන්වීමට කැමතියි. මෙය අපි බලාපොරොත්තු නොවුනු තත්ත්වයක්. මේ තත්ත්වය ඇතිවීමට හේතුවෙලා තිබෙන්නේ අපිට තිබෙන විදුලි අර්බුදයක් නිසා නෙවෙයි අපිට තිබෙන තෙල් අර්බුදයක් නිසා.
විදුලි කප්පාදුව සිදුවන්නේ උදේ 8.30 සිට රාත්‍රී 10.30 දක්වා. A,B,C යන කාණ්ඩ තුනේ උදේ වරුවේ පැය 02ක කාලයක් සහ රාත්‍රී කාලයේ පැය 2.40ක් විදුලිය කප්පාදු කෙරෙනවා. සෙසු කාණ්ඩ සඳහා පැය 4.30ක විදුලි කප්පාදුව සිදු කෙරෙනවා. එය සිදු වන්නෙත් උදේ වරුවේ පැය 02ක කාලයක් සහ ඉතිරිය රාත්‍රී කාලයේ* යනුවෙන් සඳහන් කළේය.
දිනේෂ් සමරකෝන්
විදුලි විසන්ධි වන කාල සටහන කියවීම සඳහා සබැඳිය click කරන්න - https://www.scribd.com/document/560598833/23-02-2022-Power-Interruption-Schedule