පළාත් පාලන අපේක්ෂකයන්ට රාජ්‍ය සම්පත් භාවිත නොකිරීමට නියම කරන්නැයි ඉල්ලමින් ඉදිරිපත් කරඇති පෙත්සම සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී සිටි කරුණු දැක්වීමට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු ආමාත්‍ය මණ්ඩලයට නියම කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (12දා) නොතීසි නිකුත් කළේය.
පළාත් පාලන අපේක්ෂකයන්ට රාජ්‍ය සම්පත් භාවිත නොකිරීමට මෙන්ම මැතිවරණ කොමිසමට නිකුත් කර ඇති මාර්ග උපදේශන මාලාව අනුව කටයුතු කිරීමට බලධාරීන්ට නියම කරන්නැයි ඉල්ලා පැෆරල් සංවිධානය ගොනු කර ඇති පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව එලෙස නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය, අදාළ නොතීසි ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිවරයා හරහා වගඋත්තරකාර අමාත්‍ය මණ්ඩලයට භාර දීමට කටයුතු කරන ලෙසද නියම කළේය.
පෙත්සම සම්බන්ධයෙන් මූලික විරෝධතා ඇත්නම් ලබන 24වැනිදා ගොනු කිරීමටද, ප්රතිවිරෝධතා ඇත්නම් ලබන 28වැනිදා ගොනු කිරීමටද නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය, කරුණු තහවුරු කිරීම සඳහා පෙත්සම ජූලි 03වැනිදා කැඳවීමටද නියම කළේය.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කුමුදුනි වික්‍රමසිංහ සහ අචල වෙන්ගප්පුලි යන මහත්ම මහත්මීන්ගේන් සැදුම්ලත් සමන්විත විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම පෙත්සම සලකා බැලිණි.
පැෆරල් සංවිධානය ගොනු කර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නීතිපතිවරයා, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලය නම් කර ඇත.
නීතිඥ මංජුල බාලසූරිය මහතා මගින් පැෆරල් සංවිධානය ගොනු කර ඇති පෙත්සමේ, සැප්තැම්බර් 17වැනිදාත් ඔක්තෝබර් 16වැනිදාත් අතර කාලය තුළ ජනාධිපතිවරණය පැවැත්වීමට දින නියම කර ඇතැයි සඳහන් කර ඇත.
එසේ තිබියදී මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා '2024 අයවැය යෝජනා' නමින් චක්‍රලේඛනයක් නිකුත් කරමින් රටේ ග්‍රාමීය ප්‍රදේශවල සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට යෝජනා කර ඇතැයිද ඊට අමතරව 'කඳුකර දර්ශකය' නමින් තවත් චක්‍රලේඛනයක් නිකුත් කරමින් ග්‍රාමීය ප්‍රදේශවල ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා මූල්‍ය පහසුකම් ලබා දීමට යෝජනා කර ඇතැයිද පෙන්වා දෙන පෙත්සම්කාර පැෆරල් සංවිධානය, මෙම ව්‍යාපෘති දෙකම ලබන ජූලි මස 31වැනිදා වන විට අවසන් කළ යුතු බවටද නිවේදනය කර ඇතැයිද සඳහන් කර ඇත.
මෙම ව්‍යාපෘතිවලට අනුව ප්‍රජා කමිටුවලට රුපියල් කෝටිය බැගින් මුදල් වෙන් කිරීමට තීරණය කර ඇතැයිද, මෙම ව්‍යාපෘතිවල යටි අරමුණ ජනාධිපතිවරණය සහ පළාත් පාලන මැතිවරණවලදී බලයේ සිටින දේශපාලන පක්ෂවලට වාසි ලබා ගැනීම යැයිද සඳහන් කරන පෙත්සම්කාර පැෆරල් සංවිධානය, මෙවැනි කටයුතු මැතිවරණ නීතිවලට අනුව තහනම් ක්‍රියාවන් මෙන්ම මැතිවරණ කොමිසමේ විධිවිධාන උල්ලංඝනය කිරීමක් බවද සඳහන් කර ඇත.
මෙවැනි කටයුතුවලින් ඡන්දදායකයන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වන බවත් පළාත් පාලන අපේක්ෂකයන්ට රාජ්‍ය සම්පත් භාවිත නොකරන ලෙස සහ මැතිවරණ කොමිසමේ උපදේශ මාලාවන් අනුව කටයුතු කිරීමට පියවර ගන්නා ලෙස බලධාරීන්ට නියම කරන්නැයි ඉල්ලා සිටින පෙත්සම්කාර සංවිධානය, අදාළ පෙත්සම විභාගයට ගැනීමටද, චක්‍රලේඛන නිකුත් කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කිරීමටද, අමාත්‍ය මණ්ඩලය විසින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩකර ඇති බවට ප්‍රකාශ කිරීමටද, කෝටියක වන්දියක් ගෙවීමටද ඉල්ලීම් කර ඇත.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝග නිකුත් කළ විනිසුරු මඬුල්ල පෙත්සම ජූලි 03වැනිදා කැඳවීමටද නියම කළේය.පැෆරල් සංවිධානය වෙනුවෙන් නීතිඥ අස්ථික දේවේන්ද්‍ර මහතා පෙනී සිටියේය.