හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසන් වාර්තා දෙකක් ලැබුණු බවත් , හිටපු ජනාධිපතිවරයා විසින් ප්‍රසිද්ධ නොකළ එම වාර්තා ප්‍රසිද්ධියට පත්කිරීම වත්මන් ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ වගකීමක් බවත් පිවිතුරු හෙළඋරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය.
කොළඹ අද (07දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.එහිදී වැඩිදුරටත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.
“ජනාධිපතිතුමා කටුවාපිටිය පල්ලියට ගොස් ඇති බව මාධ්‍ය වලින් දැක්කාම අපි හිතුවේ පාස්කු ප්‍රහාරය පිළිබඳ හිටපු ජනාධිපති සැඟවූ කතෝලික පල්ලිය ප්‍රසිද්ධ කරන්න කියලා නිතර ඉල්ලන වාර්තා දෙක ප්‍රසිද්ධ කරන්න ඒ පල්ලියට ගියා කියලා. නමුත් එතුමා ගිහින් තිබුණේ හිස් අතින්. පල්ලියට රැස් වුණු වින්දිතයෙකු ඉල්ලා සිටියේ අපේ බුද්ධි අංශ මේ ප්‍රහාරයට සම්බන්ධ බවට චෝදනා තිබෙන නිසා අළුත් පරීක්ෂණ ආරම්භ කරන්න කලින් ඒ නිලධාරින්ගේ වැඩ තහනම් කරන්න කියලා.
අපේ බුද්ධි අංශ වලට චැනල් ෆෝ එල්ල කළ චෝදනාවට පදනමක් තිබෙනවා ද කියලා බලන්න හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස් අයි ඉමාම් මහතාගේ සභාපතිත්වයෙන් කොමිසමක් පත් කළා. ඒ විමර්ශන වාර්තාව පසුගිය ජූනි මාසයේ ජනාධිපතිට භාර දුන්නා. නමුත් අබිරහස් හේතුවකට කාව හෝ රැක ගන්න ඒ වාර්තාව ප්‍රසිද්ධ කලේ නෑ. ඒ වගේම පාස්කු ප්‍රහාරය පිළිබඳ බුද්ධි අංශ වල ක්‍රියාකාරිත්වය පිළිබඳ නිශ්චිත කරුණු හතරක් විමර්ශනය කරන්න විශ්‍රාමික විනිසුරු ඒ එන් ජේ අල්විස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් කොමිසමක් පත් කළා. මේ වාර්තා දෙකම හිටපු ජනාධිපතිට ලැබුනත් එකක්වත් ප්‍රසිද්ධ කලේ නෑ.
ජනාධිපතිතුමා මේ වාර්තා අධ්‍යනය කරලා කටුවාපිටියේ ගියා නම් මේ වාර්තා අරගෙන කටුවාපිටියේ ගියා නම් වින්දිතයින් නගපු ප්‍රශ්න වලට වැනෙන්නේ නැතිව කෙලින් පිලිතුරු දෙන්න තිබුණා. මේ වාර්තා දෙක සොයා ගන්න බැරි නම් හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහත්තයාට කතා කරලා කොහෙද තිබ්බේ කියලා අහන්න. ඒත් හොයා ගන්න බැරි නම් නීතිපතිතුමාට කතා කරන්න. පිවිතුරු බුද්ධි අංශ වාර්තා අනුව හිටපු ජනාධිපති ලේකම් මේ වාර්තා දෙකේම පිටපත් නීතිපතිතුමාට බාර දීලා තිබෙනවා.”
එහිදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න වලටද ඒ මහතා මෙලෙස පිළිතුරු ලබා දුන්නේය.
ප්රශ්නය - මෙම ආණ්ඩුවෙන් පාස්කු ප්‍රහාරයට සාධාරණයක් ඉටුවෙයි කියලා විශ්වාසයකින් කාදිනල්තුමන් පසු වෙනවා ඇති. ඔබතුමා හිතන් නැද්ද එහෙම වෙයි කියලා.
පිළිතුර - කාදිනල්තුමන්ටත් එවැනි බලාපොරොත්තුවක් ඇති. නමුත් මේ මාධ්‍ය හමුව ඇහුව නම් එතුමන්ටත් සිහිපත් වෙයි මටත් අමතක වුනා නේද කෝ වාර්ථාව කියලා අහන්න කියලා. ඒ වගේම ගම්මන්පිලට මේ මාධ්‍ය හමුව ජනපති එන්න කලින් දවසේ තියන්න තිබුනා නේද කියලා එතුමන්ටත් හිතෙන්න ඉඩ තියෙනවා.
ප්රශ්නය - මෙවර මැතිවරණයට එන්නේ කුමන අයුරින්ද ?
පිළිතුර - සර්වජන බලය සන්ධානය පදක්කම ලකුනෙන් මෙවර මැතිවරණයට තරග කරනවා. අපි මෙවර බලාපොරොත්තු වන්නේ රන් පදක්කම නෙවෙයි. රිදී පදක්කම. මොකද අගමැතිකම අනිවාර්යෙන්නම යන්න ඕනේ මාලිමාවට. පක්ෂ දෙකකට ජනපතිකම සහ අගමැතිකම ගියොත් රට අස්ථාවර වෙනවා. ප්‍රධාන විපක්ෂයේ භූමිකාව අපි ජනතාවගෙන් ඉල්ලනවා.