හම්බන්තොට සංචාරක, කර්මාන්ත, වෙළෙඳ සහ වරාය ආර්ථිකයක් ලෙස දියුණු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
තමන් ජනතාවට සහන ලබා දෙන්නේ ඔවුන්ගේ ආදායම් වැඩි කර බව පැවසූ ජනාධිපතිවරයා අනෙකුත් ජනාධිපති අපේක්ෂකයන් සහ තමා අතර වෙනස එය බවද පෙන්වා දුන්නේය.
අසීරුවෙන් ගොඩනඟාගත් රටේ ආර්ථිකය ආරක්ෂා කර ගැනීමට නම් ඉදිරියට යා යුත්තේ නිවැරදි කළමනාකරණයක් සමඟ බව ද පෙන්වා දුන් ජනාධිපතිවරයා අංක ගණිතය නොදත්, බොරු පොරොන්දු පමණක් දෙන නායකයන්ට රටේ වගකීම භාර දිය නොහැකි බවද අවධාරණය කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ හම්බන්තොට බස්නැවතුම්පොළ ඉදිරිපිට ක්‍රීඩාංගණයේදී පැවති “පුළුවන් ශ්‍රී ලංකා” විජයග්‍රාහී ජන රැලියට එක් වෙමිනි.
මෙම මැතිවරණය සඳහා මම ඔවුන්ගේ සහාය ඉල්ලුවේ නැහැ. මැතිවරණයකදී ඕනැම පක්ෂයකට ඕනෑම තීරණයක් ගැනීමේ හැකියාව තිබෙනවා. එතුමන්ලා වෙනම තරග කරනවා. අපි වෙනම තරග කරනවා. මම මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ රට තුළ අප ඇති කර තිබෙන ආර්ථික ස්ථාවරත්වය ආරක්ෂා කර දීම සඳහායි.
ආර්ථිකය ස්ථාවර කිරීමේ දී මේ රටේ ගොවි ජනතාව මට විශාල සහයක් ලබා දුන්නා. 2023 මහ කන්නය සහ යල කන්නය සාර්ථක වුණා. ගොවින් අපට ඉහළ අස්වැන්නක් ලබා දුන්නා.
ඒ නිසා මේ ප්‍රදේශවල ගොවි ජනතාවට මම ස්තූතිවන්ත විය යුතුයි. 2023 වසරේදී මෙරට දළ දේශීය නිෂ්පාදනය ඩොලර් බිලියන 84ක් බවට පත් කර ගැනීමට අපට හැකි වුණා. අපට මුදල් ලැබීමත් සමඟ අස්වැසුම වැඩසටහන යටතේ ජනතාවට සමෘද්ධි දීමනාව මෙන් තුන් ගුණයක මුදලක් ලබා දුන්නා අද අපි සෑම ක්ෂේත්රයකටම සහන ලබා දී තිබෙනවා. උක් වගාවටත් පොහොර සහනාධාරය
ලබාදීමට කටයුතු කරනවා. මේ සහනාධාර ලබා දුන් විට ජනතාවගේ ආදායම් වැඩි වෙනවා. අප සහ අනිත් පාර්ශ්වයන් අතර තිබෙන වෙනස එයයි.
මුදල් නැතිව සහනාධාර ලබා දෙන්නේ කොහොමද ? ඒ නිසා ජනතාවට සහන දිය යුත්තේ ආදායම් වැඩිකරගෙනයි. මෙම අංක ගණිතය නොදත් අය රටේ ජනාධිපති වන්නේ කොහොමද කියා මම අහන්න කැමතියි.
මේ රටේ නිෂ්පාදන වැඩි වීමත්, රුපියල ශක්තිමත් වීමත් සමග අපට ජනතාවගේ ජීවන බර අඩු කළ හැකියි. අප පසුගිය කාලයේ ආරම්භ කළේ එම වැඩපිළිවෙළයි. අපි තරුණ තරුණියන්ට රැකියා ලබාදීමට සැලසුම් කර තිබෙනවා. සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ ඒ පිළිබඳ කිසිවක් ඇතුළත්ව නැහැ.
හම්බන්තොට වරාය දියුණු කිරීමේ වගකීම මා එදා භාරගත්තා. චයිනා මර්චන්ට් සමාගම මෙන්ම සුබානා ජුරොං සමාගමද ඒ සඳහා සැලැස්මක් සකස් කර තිබෙනවා. හම්බන්තොට මහා පරිමාණ අයෝජන කලාපයක් ඇති කිරීමට අක්කර හාරදහසක් ලබාදීමට අප එකඟ වී තිබෙනවා. ඒ වගේම සයිනොපෙක් පිරිපහදුව මෙම ප්‍රදේශයට ගෙනවිත් තිබෙනවා. සයිනොපෙක් පිරිපහදුව ලංකාවේ දෙවන පිරිපහදුවයි. මෙම ව්‍යාපෘති සමඟ අප ඉදිරි වසර පහේදී හම්බන්තොටට සංචාරක, කර්මාන්ත, වෙළෙඳ සහ වරාය ආර්ථිකයක් ගෙන දෙනවා. මෙම දියුණුව ඇති කිරීම වෙනුවෙන් අපි එක් වෙමු."