අතීතය ගැන නොතැවෙන්න, අනාගතය කෙරෙහි නොබැඳෙන්න, වර්තමානය පිළිබඳ සිහියෙන් පසුවන්න කියා බුදුන් වහන්සේ වරක් ප්‍රකාශ කර තිබෙනවා. පසුතැවිලි නොවන සිතක් සාදාගත් කෙනෙකුට බොහෝ සතුටින් ජීවත් වීමට පුළුවන්. නමුත් යම් කෙනෙකුට පසුතැවිලි වෙන අදහස් නිතර පවතිනවා නම් ඒ පුද්ගලයාට සැපවත් ජීවිතයක් උපදවා ගැනීමට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ.
අපි අපේ අතීතයේ කරපු වැරදි පිළිබඳ නැවත නැවතත් මතක් කර කර ඇතිකර ගන්නා පීඩනය, පීඩාව මෙතෙක් යැයි කීමට බැහැ නේද? ප්‍රේම සබඳතා, ආර්ථික කඩා වැටීම්, නැති නාස්ති කිරීම්, වැරදි වැඩ අපි හැමෝගේම අතීතයේ තිබෙනවා.
අතීතය සිද්ධ වුණ දේවල් සිද්ධ වෙලා ඉවරයි. අතීතය කියන්නේ ගෙවලා ඉවර වුණ කාලයට. අපිට පුළුවන්ද අතීතයට ගිහින් සිද්ධ වුණ දේවල් නිවැරදි කරන්න. බෑ නේද? ඇයි එහෙනම් අපි ඒ දේවල් ගැන හිතලා දුක් විඳින්නේ. වැරදුණ අතීතය පාඩමක් කරගෙන වර්තමානය සතුටින් සිටීමයි වැදගත් දේ.
ගැහැනුන්ට තිබෙන ලොකු ගැටලුවක් තමයි බොහෝ පිරිසක් ගෙවුණ අතීතය ගැනත්, උදා නොවුණ අනාගතය ගැනත් සිතමින් ජීවත් වීම. එහෙම ජීවත්වන අයට කිසිම දෙයක සතුටක් ලබන්න බැහැ. ඒ තුළින් ඔවුන් ජීවිතයේ මිස් කර ගන්න දේවල් බොහොමයි. අද බොහෝ බැඳීම් දෙදරා යෑමට මෙය එක හේතුවක්. මේ මොහොතේ ජීවත් වෙනවා කියන කාරණය අපි සැම විටම පුරුදු පුහුණු විය යුතු දෙයක්.
සතුටින් සිටින වේලාවට සතුටු වෙන්න. දුකක් හිතුන වේලාවට දුක් වී ඒ කාරණය එතනින් අතහරින්න. එය නැවත අනාගතයට රැගෙන යන්න එපා. බොහෝ හිත් රිදීම්වලට හේතුව තමයි අතීත සිදුවීම් අනාගතයට ඇදගෙන යාම. සිතන්න ඔබේ සැමියාගෙන්, පෙම්වතාගෙන්, මිතුරියගෙන් ඔබගේ සිත් රිදීමක් වුණා කියා. එයින් ඔබ උගත් පාඩම සිත්හි තබාගෙන ඒ සිද්ධිය නැවත නැවත මතක් කරමින් පසුතැවිලි වීමෙන් සිදුවන්නේ ඔබට මේ මොෙහාතේ තිබෙන සතුට, නිදහස අහිමි වීමයි. ඒ නිසා හොඳම දේ තමයි අද දවස පළමු හෝ අවසාන දවස හැටියට සලකා ජීවත් වීම. එය ඔබේ ජීවිතේ බොහෝ ගැටලුවලට පිළිතුරක් වේවි.
සටහන - සරසි නෙත්මිණි