අපි ඕනෑම කෙනෙක් සැපසේ, සුඛෝපභෝගීව, දුකක් නොමැතිව ජීවත් වීමට කැමැතියි. නමුත් අප සුඛෝපභෝගී ජීවිතයක් අපේක්ෂාවෙන් හතර වටේටම ණය වෙනවානම්, දරා ගන්න බැරි තරමටම බැංකුවලට සහ විවිධ ආයතනවලට ණය වෙලා එවැනි සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන්න උත්සහ කරනවා නම් එය ඉතා අසාර්ථක ප්රයත්නයක්. එයින් සිදුවන්නේ අපගේ මානසික සතුට, මානසික සැහැල්ලුභාවය, පවුලේ සතුට සියල්ල අහිමි වී යාමයි. යානවාහන, මිලමුදල්, අධික ලෙස තිබෙන මිනිසුන් ළඟ සතුට නැති බව අපි ඕනෑ තරම් දැක තිබෙනවා.
අපේ රටේ මිනිසුන්ගේ එක් මතයක් තිබෙනවා මිලමුදල්, යානවාහන, ගෙවල්දොරවල්, හොඳ රැකියාවක් තිබෙනවා නම් එහි තමයි සුඛෝපභෝගී ජීවිතයක් තිබෙන්නේ කියා. ඇත්තෙන්ම එය මිථ්‍යා මතයක්. අපි පිටරටවල්වල ජීවත් වන ඇතැම් පුද්ගලයන් දෙස බැලුවාම ඔවුන් සුඛෝපභෝගීව ජීවත් වෙනවා කියන්නේ කුඩා නිවසක ඉතා සරලව ජීවත් වීමටයි. ඔවුන් තුළ සතුට තිබෙනවා. ඔවුන් විනෝද වෙනවා, විනෝද ගමන් යනවා, සැහැල්ලුවෙන් ජීවත් වෙනවා. ඔවුන් සුඛෝපභෝගී කියන දේ අදහස් කරන්නේ භෞතික දෑ වලින් නෙමේ. ඔවුන් සැම විටම සොයන්නේ තමන්ගේ මානසික නිදහස. අපේ රටේ සුඛෝපභෝගී ජීවිතය කියන්නේ කුමද්ද යන්න සම්බන්ධව මේ අතින් බැලූ විට ඉතාම වැරදි මට්ටමක තිබෙන්නේ. භෞතික වස්තූන් යහමින් පවතිනවා නම් එය තමයි සැපත, සතුට කියා සිතනවා. ඇත්තෙන්ම එය ඉතාම වැරදි අදහසක්. බුදු දහමේ වුවත් දේශනා කර තිබෙන්නේ සතුට පරම ධනය බවයි. යුරෝපීයන් දෙස බැලුවාම ඔවුන් හරි සතුටින් ජීවත් වන්නේ. ඔවුන් මුදල් හම්බ කරනවා. නමුත් ණය වීම අඩුයි. ක්‍රෙඩිට් කාඩ්වලට ගෙවන ප්‍රමාණය අඩුයි. ඔවුන් ඇත්තෙන්ම නියම අර්ථයෙන් ජීවිතය ගත කරනවා. සතුට තමයි අපේ ධනය. සතුට තිබෙන්නේ මුදල් මත නොව අපි ජීවිතය ගත කරන විදිහ සහ අප ජීවිතය විඳින විදිහ මතයි.
අතීතය ගත් විට අපේ මිනිසුන් ස්වයංපෝෂිතයි. ඒ අයට අවශ්‍ය අයුරින් සියලු දේ සපුර ගත්තා. තව කෙනෙක් මත යැපෙන ප්‍රමාණය ඉතාම අඩුයි. වර්තමානයේ මෙරට ආර්ථික ක්‍රමය, අපේ තරගකාරීත්වය තමයි ණය ගන්න හේතුවක් වී තිබෙන්නේ. එහිදී බැංකුවලින්, සමිතිවලින් වගේම විවිධ පුද්ගලයන්ගෙන් ණය ලබාගන්නවා. ඒ ණය ලබාගත්තාට ඔවුන්ට තේරුමක් නැහැ කොහොමද මේ ණය ගෙවන්නේ කියා.
එය ගෙවීමට අපගේ වැටුප ප්‍රමාණවත්ද, ගෙවුවායින් පසු අපේ අනිත් වැඩකටයුතුවලට වැටුපෙන් කොපමණ ප්‍රමාණයක් ඉතිරිද කියා ණය ගැනීමට ප්‍රථමයෙන් දහ දොළොස් වාරයක් අප සිතනවා නම් අපි ණය ගන්නේ නැහැ. කාන්තාවකට නිවසේ හෝ තමන්ගේ ආර්ථික කළමනාකාරීත්වයක් තිබෙනවා නම් ඒ කාන්තාව තමන්ගේ ජීවිතය සහ ගෘහ ජීවිතය තුළ සාර්ථකයි. මේ නිසා ආර්ථික කළමනාකාරීත්වය අපගේ ජීවිතය තුළට ඉතාම වැදගත්. අපිට ඕනෑ තරම් ණය දෙන්න පිරිස් සිටිනවා. ඕනෑ තරම් ණය දෙන්න සමාගම් තිබෙනවා. ඕනෑ තරම් අවස්ථා තිබෙනවා. නමුත් අපි මේ අවස්ථාවන් ගන්නේ කුමකටද, කුමක් සඳහාද, එය ගෙවීමේ හැකියාව තිබෙනවාද, කොපමණ කාලයක් මම මෙයට ගෙවන්න ඕනද, හදිසි අසනීපයක් වුවහොත් මේ තරම් ප්‍රමාණයක් මට ගෙවා ගැනීමට හැකි වේවිද, යනුවෙන් අපි ණයක් ලබාගැනීමට යාමේදී විශාල ලෙස සිතිය යුතුයි. කිසියම් මොහොතක එය අපිට ගෙවන්න නොහැකි වුවහොත් අපිට සමාජයේ ඉදිරියට යන්න බැහැ. ඒ තුළින් ඇතිවන මානසික පීඩාවන් බහුලයි.
මා ළඟට පැමිණි එක් සේවාලාභියෙක් සිටිනවා. ඒ කාන්තාව නිරන්තරයෙන් ණය ගැනීම සිදුකරනවා. ණය ගන්නවා, ණය පියවනවා. බලද්දී ඇයට තිබෙන්නේ ණය ගැනීම සම්බන්ධව ඇබ්බැහියක්. ඕනෑම කෙනෙක් තමන්ට මෙය පියවන්නවත් හැකිද කියා නොසිතා දිගින් දිගට ණය ගන්නවා නම් එය මනෝ විද්‍යාත්මකව බැලූ විට ඇබ්බැහියක්. ඒ ඇබ්බැහිය මානසික රෝගයක්. ඇතැම් විශාදයට ගොදුරු වූ රෝගීන් බැලුවම ඔවුන් ඒ මානසික රෝගයට ගොදුරු වීමට එක් හේතුවක් තමයි අධික ලෙස ණයවීම.
අපි මේ ජීවත් වන සමාජ රටාවත් සමග සමහර අවස්ථාවල අපිට ණය ලබා ගැනීමට සිදුවෙනවා. නමුත් ණය නොවී ජීවත් වීමට අපි උපරිම උත්සාහ කළ යුතුයි. අපි එහිදී ගොඩක් සරල විය යුතුයි. අපේ අවශ්‍යතා සරල විය යුතුයි.
කාන්තාවක් දෛනික අයවැයක් ලිවිය යුතුයි. ඒ අයවැය ලියද්දී මේ වගේ ප්‍රමාණයක් මට වැය වෙනවා. මේ වගේ ප්‍රමාණයක් මට ඉතිරිවෙනවා කියා දන්නවා. ඒ නිසා කිසි විටෙකත් හිතුමතේ ණය ගැනීමට යන්නේ නැහැ.
එකවර පොහොසත් වනවාට වඩා ක්‍රමිකව පොහොසත් වීමට අපි බලන්න ඕන. ඇතැමුන් විශාල ණයක් ලබාගෙන සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන්න, අඩු කාලයකින් තමන්ගේ සිහිනවලට යන්න උත්සහ කරනවා. එහිදී මූල්‍ය ආටෝපවලින් අපි බැහැර වෙන්න ඕන. පළමුවෙන්ම අපිට අවශ්‍ය දේ මොකද්ද, අනවශ්‍ය දේ මොකද්ද කියා සොයා බලන්න ඕන. මේ කාරණා කෙනෙකු හරියටම අවබෝධ කරගෙන කටයුතු කරනවා නම් අනවශ්‍ය ලෙස ණය ගන්න අවශ්‍ය නැහැ. ඒ නිසා ජීවිතයට හොඳ සැලසුමක් සදා ගැනීමට ඔබ සැලකිලිමත් විය යුතුයි. එවිට ඔබට ණයගැතියෙක් නොවී ජීවිතය සතුටින් ගෙවිය හැකියි.
(අදහස් දැක්වීම තාරු පරණවිතාන මනෝවිද්‍යාඥ හා කථිකාචාර්ය, The Helping Hand මානසික සෞඛ්‍ය රෝහලේ අධ්යක්ෂ)
සටහන - සරසි නෙත්මිණි